සිංහල  |  தமிழ்  |  English  |  日本人
නිවන් මග
අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේගේ දේශනා ආශ්‍රිතව සැකසුනු වෙබ් අඩවියකි


අවිද්‍යා අන්ධකාරයෙන් වැසුණු, තණ්හාවෙන් භරිත, ඉන්ද්‍රියන් පිනවීම පිණිස ම යොමු වූ අතිශය වාණිජකරණය වූ, වර්තමාන ලෝක ජන සමාජය අවුලෙන් අවුලට පත්වෙමින්, අතිබිහිසුණු විනාශකාරී මඟකට යොමුවී තිබේ.

බුදුන් වහන්සේ විසින් අත් හළ යුතු යයි වදාළ අන්ත දෙකෙන් එකක් වූ ’කාමසුඛල්ලිකානුයෝගය’ හෙවත් අධික ලෙස ඉන්ද්‍රිය පිනවීම ම මුල් කරගත්, ඒ සඳහා අවශ්‍ය කරන සම්පත් උපයාගැනීම ම ජිවිතය ‍යයි සළකන සමාජයක භෞතික සම්පත් අත්පත් කරගැනීම පිණිස ගෙන යන තරඟය නිසා අවසානයේ ඉතිරි ව ඇත්තේ, මානසික ආතතිය, කලකිරීම, ඉච්ඡා භංගත්වය, හෘදයාබාධ, අධිරුධිර පීඩනය, කොලොස්ටරෝල්, පිළිකා, දියවැඩියාව, තරබාරුබව, ගැස්ට්‍රයිටීස්, ස්නායු දුර්වලතා සහ අස්ථි දිරීමේ රෝගය වැනි රෝග සමූහයක් සමඟ හෙම්බත් වීම පමණි.

මෙවැනි පරිසරයක් තුළ පීඩාවට පත් බුද්ධිමත්හු අද එයින් ගැලවීම සඳහා මං සොයති. සැප ලැබීම සඳහා භෞතික සම්පත් හඹායාම කළද, ඒවායේ සතුට නැති බව අද ඔවුන්ට ප්‍රත්‍යක්ෂ වී ඇත. ඒ නිසා අද වැඩි පිරිසක් අධ්‍යාත්මික සංවර්ධනයක් සඳහා නැඹුරු වන බව දක්නට ඇත.

එවන් පසුබිමක මීට වසර දෙදහස් පන්සිය පනහකට පෙර මෙලොවට පහළ වූ "ගෞතම බුද්ධ" නමින් ප්‍රසිද්ධියට පත් මහා ඝෘෂිවර‍යාණන් විසින් වදහළ දහමට වර්තමානයේ හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ලෝකය දුක් සහිත බවත්, දුකට හේතුව තණ්හාව බවත්, තණ්හාව නැතිකිරීමෙන් දුක නැති වන බවත්, දුක නැති කිරීමේ මාර්ගයත් වශයෙන් මනාව දේශිත ’චතුරා‍ය්‍යී සත්‍ය ධර්මය’ බුද්ධ දේශනාවයි.

අද වන විට බුදුන් වහන්සේ විසින් දේශිත නිර්මල ’චතුරා‍ය්‍යී සත්‍ය ධර්මය’ වැසීගොස් ඒ වෙනුවට පුදපූජා, ප්‍රාර්ථනා කිරීම්, සජ්ඣායනා කිරීම්, පව් සමා කිරීම් ආදි නොයෙකුත් වත් පිළිවෙත්වලින් ගහන ආගමක් බිහි ව තිබේ. එය බුද්ධාගම නමින් හැඳින්වේ. එම බුද්ධාගම විවිධ රටවල විවිධ සංස්කෘතීන් යටතේ විවිධ ලක්ෂණයන්ගෙන් යුක්ත වෙයි. බුදුන් වහන්සේ වදාළේ කුමක් ද යන්න හඳුනාගැනීම පවා දුෂ්කර ය. ඒ නිසාම බුදුන් වහන්සේ විසින් වදාළ දහමින් ලබාගත හැකි ’පරම සැපත’ උදා කරගැනීම අද සමාජයට ප්‍රශ්නයක් වී තිබේ.

ප්‍රායෝගික අත්දැකීම් සහිත ආචා‍ය්‍යීවරුන්ගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ප්‍රගුණ කර තමා තුළින් තම නුවණින් දැක අවබෝධ කරගත යුතු ඇස, කන, නාසය, දිව, ශරිරය, මනස යන ඉන්ද්‍රියන්ට හසු නොවන අති සූක්ෂම දහමක් වන ’චතුරා‍ය්‍යී සත්‍ය’ ඇත්තේ බඹයක් තරම් වන තමා තුළ යයි බුදුන් වහන්සේ වදාළහ. එසේ නම් කිසිසේත් ම එය තමාගෙන් බාහිරව තිබිය නොහැකි ය. එහෙත් අද ලාභ-සත්කාර, කීර්ති-ප්‍රශංසා පසුපස හඹා යන බොහෝ දේශකයෝ බුද්ධ දේශනාව අනුව පිළිපැද ප්‍රායෝගිකව ධර්මය ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කරගන්නවා වෙනුවට, පොත පත කියවා කටපාඩම් කරගත් වචන සමූහයක් ජනයාට ප්‍රකාශ කරමින් බුදුන් වහන්සේ වදාළ ’නිර්මල චතුරා‍ය්‍යී සත්‍ය’ ධර්මය විකෘති කරමින් සිටිති. බුදුන් වහන්සේ වදාළ දහම හැටියට තම පෞද්ගලික අදහස් ම ප්‍රකාශ කරති. එසේ හෙයින් බුදුන් වහන්සේ වදාළ සද්ධර්මය හඳුනාගැනීම ඉතා දුෂ්කර කාර්යයක් ව තිබේ.

බුදුන් වහන්සේ වදාළ දහම කුමක්ද? යන්න පිළිබඳව 1990 වසරේ සිට දීර්ඝ කාලයක ඇත්දැකීම් සහිත ප්‍රවීණ අචාර්යවරුන් ඇසුරේ වනගත ව, ප්‍රායෝගික ගවේෂණයක යෙදුනු මෙහි දේශකයාණන් වන අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ, චතුරා‍ය්‍යී සත්‍ය ප්‍රත්‍යක්ෂ කොට ලද ධර්ම ඥානයෙන් සහ එම අවබෝධයෙන්ද එමෙන්ම උන්වහන්සේ දිර්ඝ කාලයක් වනගතව ලත් අත්දැකීම්ද අනුසාරයෙන් පළමුවරට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට ගුවන් විදුලි සේවය ඔස්සේ 2006 වසරේ පෙබරවාරි මස සිට සෑම පසළොස්වක පොහොය දිනයන්හි ලොකයාහට බුදුන් වහන්සේ වදාළ එම නිර්මල දහම දේශනා කළෝය.