අතිපූජනීය මහනුවර වජිරබුද්ධි යතිවරයාණන් ගේ දේශනා ආශ්‍රිතව සැකසුනු වෙබ් අඩවියකි
අතිපූජනීය මහනුවර වජිරබුද්ධි යතිවරයාණන්

වසර 2600 කට ආසන්න ඉපැරණි ඉතිහාසයකට උරුමකම් කියන "නිර්මල බුදු දහම" එවකට මහා භාරතයේ පහළ වුනු "ගෞතම බුද්ධ" නමින් ප්‍රකට මහා සෘෂිවරයාණෝ විසින් ලෝකයට හඳුන්වා දුන්, තම නුවණින් අවබෝධ කරගත යුතු ඒ ජීවන දහම, වර්ථමාන යුගය වන විට පුද පූජා, වන්දනා, සජ්ඣායනා, ප්‍රාර්ථනා ආදියෙන්ද, පුහු ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා අරමුණු කරගත් විවිධ ජීවනෝපායයන් සඳහාද පොත්පත් කියවා ලබාගත හැකි විෂයානුබද්ධ දැනුමක් බවට පත්වීම නිසා, බුදුන් වහන්සේ විසින් වදාළ සත්‍ය දහම හඳුනා ගැනීම ලෝ වැසි ජනතාවට අසීරු කාර්යයක් බවට පත්ව තිබෙන මෙවන් අවදියක, අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන් වහන්සේ එම වැළලී තිබුන "නිර්මල බුදු දහම" තම ප්‍රායෝගික අත්දැකීම් හමුවේ යළි ලෝකයට මතුකර දෙන්නට සමත්වී සිටී.

බුදුන් වදාළ දහම කුමක්ද යන්න පිළිබඳව 1990 වසරේ සිට වනගතව, අත්දැකීම් සපිරි, ප්‍රවීන කුසලතා පිරි ආචාර්යවරුන් ඇසුරේ ගවේශනයක යෙදුනු මෙම යතිවරයාණෝ අතිදුෂ්කර ව්‍යායාමයකින් පසුව, සිය අත්දැකීමෙන්ම නුවණින්ම පමණක් අවබෝධ කරගත හැකි ඒ අති උත්තරීතර "නිවන" අත්විඳින්නට තරම් භාග්‍යවන්ත විය.

ලෝකය දුක් සහිත බවත්, ඒ දුකට හේතුව තණ්හාව බවත්, තණ්හාව නැතිකිරීමෙන් දුක නැති කල හැකි බවත්, දුක නැති කරන මාර්ගයත් වශයෙන් හඳුන්වන "චතුරාර්ය සත්‍යය" ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන බාහිර ආයතන වලට හසු නොවන අතිශයින්ම සියුම් දහමක් බවත්, එය බඹයක් තරම් වන තමා තුලම පවතින්නක් බව, බුදු වදනට අනුවම, අතිපූජනීය මහනුවර වජිරබුද්ධි රහතන් වහන්සේ යථාවාදී තථාකාරී ලෙස අනූගාමිකයින් වෙත කරන මග පෙන්වීම විශ්මය දනවන්නකි.

අතිපූජනීය මහනුවර වජිරබුද්ධි දේශකයාණෝ, ජාති, කුල, ආගම්, උස් පහත් භේදයකින් තොරව, සියලු මිනිස් ප්‍රජාව වෙත ආමන්ත්‍රණය කරයි.

මිනිසාට පමණක් නොව ගහකොළ, සතා සිවුපාවාට පවා පොදු, කරුණාව මෛත්‍රිය මුල්කරගත්, බුදුන් වහන්සේගේ මෙම ඉගැන්වීම, වජිරබුද්ධි රහතන් වහන්සේගේ දේශනා තුල වඩාත් කැපී පෙනෙයි.

නිර්මල බුදු දහම සොයන බුද්ධිමත් ශ්‍රාවකයින් උදෙසා අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන් වහන්සේ 2006 වසරේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවය මගින් මුල්වරට ප්‍රචාරය කරන ලද දේශන මාලාව සමාජය තුල කතිකාවතක් ඇති කරන්නට සමත් විය.

වසර 10 ක නිහඬතාවයකට පසු අතිපූජනීය මහනුවර වජිරබුද්ධි දේශකයාණෝ 2016 කොළඹ මහවැලි කේන්ද්‍රයේ "රජයට ආගමක් අවශ්‍යද" යන මාතෘකාවට පිළිතුරක් ලෙස කළ ප්‍රභල දේශනය සහ සිරස රූපවාහිණිය ඔස්සේ විකාශනය වන "පැතිකඩ" සජීවී වැඩසටහනට සහභාගී වීමත් සමග ජනතාවගේ දෑස් යළි විවර විය.

සමාජයේ විවිධ පැතිකඩ ඔස්සේ මිනිස් හදවත් අමතන අතිපූජනීය මහනුවර වජිරබුද්ධි යතිවරයාණෝ බුදුන් වහන්සේගේ ඉගැන්වීම මුල්බැසගත්, සියලුම සත්වයින්ට යහපත සලසන ශිලාචාර, ප්‍රබුද්ධ ජන සමාජයක් බිහිකිරීමේ උදාර යුග මෙහෙවරක යෙදී සිටී.