අතිපූජනීය මහනුවර වජිරබුද්ධි යතිවරයාණන් ගේ දේශනා ආශ්‍රිතව සැකසුනු වෙබ් අඩවියකි

ගෙෳතම බුදුන් වහන්සේ වදාළ නිවන් මග
The Path to Nibbāna as Declared by the Gautama Buddha
අන්තර්ගතය:අතිපූජනීය මහනුවර වජිරබුද්ධි හිමිපාණන් විසින් දේශනා කල "සසර දුක් ගිනි නිවන සදහම් මග", "ලෝකය", "ශ්‍රද්ධාව" සහ "බුද්ධ ශාසනය" යන දේශනා ඇතුලත්ය.
ISBN:978-955-30-1089-6 (සිංහල ග්‍රන්ථය)
978-955-52-4240-0 (ඉංග්‍රීසි ග්‍රන්ථය)
බාගත කරන්න:සිංහල විද්‍යුත් ග්‍රන්ථය බාගත කරන්න

ඉංග්‍රීසි විද්‍යුත් ග්‍රන්ථය බාගත කරන්න

අතිපූජනීය මහනුවර වජිරබුද්ධි හිමිපාණන්ගේ දේශනා අනුසාරයෙන් ලියූ ලිපි කීපයක් පහත දැක්වේ




2014 සැප්තැම්බර් මස නමස්කාර සඟරාවේ පලවූ ලිපියකි.

දුක නිවන දහම


ධම්මචක්කප්පවත්තන සූත්‍රය ඇසුරෙන් බුදු දහම පැහැදිලි කැරෙන ලිපි මාලාවක පළමුවැන්න යි.

අපි කවුරුත් දන්නව බුදු හාමුදුරුවො බුද්ධත්වයට පත් වෙලා බෝ මැඬ අසලදීම සති කිහිපයක් ගත කරලා, උන් වහන්සේ අවබෝධ කරපු ධර්මය විශේෂ පරීක්ෂාවට ලක් කරලා උන් වහන්සේ තීරණය කරනව ‘මම සත්‍ය අවබෝධ කරගත්තා. මම දුකින් නිදහස් වුණා. මගේ සසර ගමන අවසාන කළා. දැන් මේ සදහම් මග මම දුකින් තැවෙන සත්ත්වයාට දේශනා කරන්ට ඕන’ කියල. එහෙම හිතල උන් වහන්සේ බලනව කාටද මම මේ ධර්මය දේශනා කරන්නෙ කියල.

ඒ වෙලාවෙ උන් වහන්සේගෙ සිහියට ආව උන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්ට පෙර, ධර්මය සොයාගෙන යන කාලෙ උන් වහන්සේ ඇසුරු කළ උන් වහන්සේගේ ගුරුවරු: ආලාර කාලාම, උද්දකාරාම වැනි තවුසන් ගැන. නමුත් ඒ වන විට ඒ තවුසන් ජීවතුන් අත නැති බව උන් වහන්සේට පෙනුණා.

ඊට පස්සේ, උන් වහන්සේ තීරණය කළා උන් වහන්සේ සමඟ බොහෝ කාලයක් මහණ දම් පුරපු පස්වග තවුසන්ට මේ දහම දේශනා කළොත්, මේ ගැඹුරු දහම තේරුම් ගැනීමේ ශක්තිය ඔවුන්ට ඇතිය කියල. බුදුන් වහන්සේ පස්වග තවුසන්ට මේ දහම දේශනා කළා. ඒ දේශනාව තමයි අපි කවුරුත් දන්න ‘ධම්මචක්කප්පවත්තන සූත්‍රය’ කියල කියන්නෙ. ඒක තමයි ධම්මචක්ක දේශනාව පවත්වපු මුල් තැන. මුල්ම දේශනාව.

මෙතැනින් තමයි අපට මේ උත්තරය සොයාගන්ට වෙන්නෙ“මොකක්ද බුදුන් වහන්සේගෙ ධර්මය?” කියන ප්‍රශ්නෙට. බුදුන් වහන්සේ පස්වග තවුසන්ට ධර්මය දේශනා කරන්ට පටන් ගෙන, මුලින් ම සත්‍ය හතරක් ගැන කථා කළා. උතුම් සත්‍ය හතරක්. අප ඒකට කියනව ‘චතුරාර්ය සත්‍යය’ කියල.

පළමුවන සත්‍යය මොකක්ද? දුක්ඛ ආර්ය සත්‍යය.

මුලින් ම බුදුන් වහන්සේ දුක ගැන විස්තර කරනව, කවුරුත් දන්න පාළියෙන් කියන විදිහට. “ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ...” ආදි වශයෙන්. ඒ කියන්නෙ ඉපදීම දුකයි, මහලු වීම දුකයි, ලෙඩ වීම දුකයි, මරණය දුකයි, කැමති දේ නොලැබෙනව නම් ඒකත් දුකයි... මෙන්න මෙහෙම කියාගෙන ගිහින් අන්තිමට කිව්වා... “සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා” කියල. ඒ කියන්නෙ “කොටින්ම කියනව නම් මේ පඤ්ච උපාදානස්කන්ධයම තමයි දුක” කියල උන් වහන්සේ කිව්ව.

ඉතින් මේ දේශනාව හරිම වැදගත්, අපි අහගෙන ඉන්න කොට අපි දන්නව අද නූතන අධ්‍යාපන ලෝකය දිහා බලන කොට අපි යමක් ඉගෙනගන්නෙ හුඟක් වෙලාවට දන්නා දේ හරහා නොදන්නා දේ කරා ගමන් කරමින් කියල. කවුරුත් අහල ඇති. බුදුන් වහන්සෙන් තමයි ලෝකයේ මුලින් ම මේ ක්‍රමය පාවිච්චි කළේ.

ඉපදීම, මහලු වීම, ලෙඩ වීම, මරණයට පත් වීම, පි‍්‍රයයන්ගෙන් වෙන් වීම, අපි‍්‍රයයන් හා එක් වීම, කැමති දේ නොලැබීම කියන මේ දුක් ඕනෑම කෙනෙක් අත්දැකල තියෙනව. කුඩා දරුවෙක් පවා මේ භවයෙදිම මේ ජීවිතයෙදිම හැම දෙනාම මේ දුක අත්විඳිනව. ඒ ගැන කියන්ට තමයි බුදු හාමුදුරුවො මේ ටික පාවිච්චි කළේ.

ඒත් බුදුවරු පහළ වෙන්නෙ මේ දුක ගැන කියන්ටම නම් නොවෙයි. හැබැයි ඉතා ම පැහැදිලියි, ධර්මය අපිට ගැඹුරින් හදාරන කොට මේ දුක හැමදාම තිබුණා. කවුරුත් මේ දුක දැනගෙන හිටියා. බුදුවරු නැති කාලවල පවා, බුදුන් වහන්සේ පහළ වෙන කොට තවත් විවිධ ඇදහිලි තිබුණා. ඉතින් මේ දුකින් මිදෙන්ට විවිධ අය නොයෙකුත් උපක්‍රම හිතුව. සමහරු හිතුව මේ දුක කවුරු හරි දෙවි කෙනෙක් මැවුම්කරුවෙක් විසින් ඇති කළ දෙයක්, එහෙම නැත් නම් මේ දුක ඉබේ ම හටගත් දෙයක්, එහෙමත් නැත් නම් මේකට හේතුව සමහර විට සූර්යයා වෙන්ට පුළුවන්, චන්ද්‍රයා වෙන්ට පුළුවන්. මේකෙන් මිදෙන්ට පුළුවන් වෙයි අපට මහා වන්නාතරවලට වැඳල, ගස්වලට වැඳල මහා පර්වතවලට වැඳල කියල.

ඒ වගේ විවිධ මතිමතාන්තර තිබුණ යුගයක, මහා අන්ධකාරයක සිටින යුගයක තමයි බුදුන් වහන්සේ පහළ වුණේ.

මං මේ කියන්ට ගියේ මේ දුක කවුරුත් දැනගෙන හිටිය. ඒ නිසා තමයි එක එක දේවල් සරණ ගියේ. ඒ දේවල් ලෝකෙ හැමදාම තිබුණා. ඒත් බුදුවරු පහළ වෙන්නෙ හුදෙක් මේ දුක ගැන කියන්නම නම් නොවෙයි. මෙයින් එහා දෙයක් තියෙනව. ඒ තමයි බුදුන් වහන්සෙ කිව්වෙ අර “සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා” කියල. මේ පඤ්චුපාදානස්කන්ධය කියන දුක මුලින් ම දැනගත්තෙ බුදු හාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙච්ච වෙලාවෙ. මෙන්න මේක තමයි උන් වහන්සේ අවබෝධ කරගත් විශිෂ්ට ධර්මය.

ඒත් මේක එක පාරට ම කිව්වට තේරෙන්නෙ නැහැ. ඒකයි බුදු හාමුදුරුවෝ මුල් කොටස කියල, ඒ කියන්නෙ දන්නා දුක ගැන කියල -අන්තිමට කිව්වෙ මේක තමයි මේ අවසාන වශයෙන් ගත්තම ප්‍රධාන දුක කියල, පඤ්චඋපාදානස්කන්ධ දුක ගැන කිව්වෙ. හැබැයි මේ පඤ්ච උපාදානස්කන්ධ දුක කිව්වට එකපාරට කාටවත් මේක තේරෙන්නෙ නෑ. ඇයි? මේක ඉතාමත් ගැඹුරු ධර්මතාවක්. මේක අවබෝධ කරගන්ට ඕන. මේක තමයි අපි නොදන්නා දුක. අපි මෙතෙන්ට තමයි ගමන් කරන්ට ඕන. අපි අර මුලින් කියපු “ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛෝ...” කියපු ඒ දුකින් පටන්ගෙන ඒ ගමන අවසාන කරන්ට නම් සැබෑ දුක දැකගන්ට ඕන. සැබෑ දුක කියන්නෙ පච්චුපාදානස්කන්ධ දුක.

මෙන්න මේ පඤ්චුපාදානස්කන්ධ දුක දැකගැනීම කරන විදිය තමයි බුදුන් වහන්සේ අපට දේනා කළේ. ප්‍රධාන දුක පඤ්ච උපාදානස්කන්ධ දුක තමයි මෙතන තියෙන දාර්ශනික අර්ථය. බුදුවරු පහළ වෙන්නෙ මේක කියන්ටයි. මේක තමයි උන් වහන්සේලා සොයාගත් පරම සත්‍යය.

ඉතින් බුදු හාමුදුරුවෝ දුක් ගොඩ එහෙම කියාගෙන ගිහින් “සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා” කිව්ව. ඊළඟට බුදු හාමුදුරුවො කිව්ව මේ දුක ඉබේ හටගත් දෙයක් නොවෙයි. කවුරුවත් මවපු එකකුත් නොවෙයි, මේ දුක හේතුවක ඵලයක්, මේ දුක හටගත්තෙ කිසියම් හේතුවක් නිසා කියල. අන්න ඒ හේතුව වශයෙන් දේශනා කළා. ‘දුක්ඛසමුදය ආර්ය සත්‍යය’ කියන-එක. මොකක්ද ඒ දුකට හේතුව? මේ කියන දුක හට ගත්තු හේතුව තණ්හාව. කවුරුත් දන්නව තණ්හාව.

තණ්හාව කීවම දැන් බුදු හාමුදුරුවෝ දේශනා කරනව මේ තණ්හාව තුනක් වශයෙන්. ඒ කියන්නෙ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා.

කාම තණ්හා කියන්නෙ: ඇසින් රූප දැකල පි‍්‍රය අරමුණේ ඇලෙමින් ආස්වාද කරනව. කනින් පි‍්‍රය ශබ්ද අහල ඒක ආස්වාද කරනව. දිවට රස දේවල් ලබාගෙන එය විඳිනව, ආස්වාද කරනව. නාසයෙන් ආඝ්‍රාණය ලබලා ඒක ආස්වාද කරනව. මේ විදියට කයෙන් මනසින් මනුෂ්‍යයා තුළ ආයතන හයක් තියෙනව. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස මේ ආයතන හය ඔස්සේ බාහිර ලෝකයෙන් එයට අදාළ අරමුණු ඒ කියන්නෙ ඇසට රූප, කනට ශබ්දය, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට ස්පර්ශය, මනසට සිතිවිලි වශයෙන් මෙන්න මේ අරමුණු අරගෙන විඳින–එක, සැපයි කියල ආස්වාද කරන–එක තමයි මේ මිනිසුන් කරන්නෙ. මේකට තියෙන ආශාව නැත්නම් මේකට තියෙන තණ්හාව තමයි, බුදු හාමුදුරුවෝ අදහස් කළේ කාම තණ්හා කියල.

ඇසින් රූප දැකල ආස්වාද කිරීම – කාම.

කනින් ශබ්ද අහල ආස්වාද කිරිම – කාම.

මේ සියලු ආයතන නැත් නම් ඉන්ද්‍රියයන් ඔස්සේ අරමුණු ලබාගෙන ඒවා විඳීම, ආස්වාද කිරීම තමා කාම කියල කියන්නෙ.

තව තණ්හාවක් බුදු හාමුදුරුවො දේශනා කළා, ‘භව තණ්හා’ කියල. භව තණ්හා කියන්නෙ යළි යළිත් ඉපදෙන්ට තියෙන ආශාව, ඉපදෙන මිනිස්සු මැරෙනව. මැරිල ආයිත් නැවත ඉපදෙන්ට තියෙන ආශාවයි භව තණ්හාව.

ඊළඟට විභව තණ්හා: මිනිසුන් හිතනවා නැවත නැවත ඉපදෙන්නේ නෑ. මෙතනින් අවසානයි කියල. එතනත් ඇති කරගෙන තියෙන්නෙ සැප විඳින්ට තියෙන ආශාවමයි. ඉන්න කල් සැප විඳල මැරිල යන්ට ඕන කියල චේතනාවක් තියෙනව. මේකයි විභව තණ්හාව.

එතකොට මේ කියන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා හේතු කොටගෙන තමයි, අර මුලින් කියපු දුක්ඛ ආර්ය සත්‍යය, දුක කියන–එක හටගන්නෙ. බුදු රජාණන් වහන්සේ කිව්ව මේ දුක හටගන්නෙ මේ තණ්හාව නිසා නම් අප මේ දුකෙන් මිදෙන්ට නම් මොකක්ද කරන්ට ඕන. තණ්හාව නැති කරන්ට ඕන.

එතකොට ඉතා පැහැදිලියි මුලින් කිව්ව වගේ එක එක දේවල් සරණ ගිහිල්ල, එක එක දේ පස්සෙ ගිහිල්ල ගස් ගල් සරණ ගිහිල්ල, සූර්යයා, චන්ද්‍රයා සරණ ගිහිල්ල, නැත් නම් දෙවි කෙනෙකුට වැඳල-පුදල, යම් යම් අයට බාර–හාර වෙලා හරියන්නෙ නෑ. දුක තියෙන්නෙ අප තුළමයි. දුකට හේතුව තණ්හාව, තණ්හාව නැති කළා නම් දුක නැති වෙනව කියල බුදුන් වහන්සේ එදා පස්වග තවුසන්ට දේශනා කළා.

එතකොට බුදුහාමුදුරුවො කිව්ව දෙවැනි සත්‍යය තමයි ‘දුක්ඛ සමුදය සත්‍යය’ ඒ කියන්නෙ දුකට හේතුව තණ්හාව.

තුන් වන ආර්ය සත්‍යය තමයි දුක නැති කිරීම, දුකින් මිදෙන තැන. දුකින් මිදීම. මොකක්ද කරන්ට ඕන දුකින් මිදෙන්ට නම්? අපි එහෙම නම් දුකින් මිදීම කියල කියන්නෙ මොකක්ද? මේ තණ්හාව අවසාන කිරීම, නිරවශේෂ නිරෝධය. කිසිම ඉතිරියක් නැතිව මේ තණ්හාව මුළුමනින්ම නැති කරල දැම්ම නම් එදාම මේ දුක ඉවරයි. ඒක තමා දුක්ඛ නිරෝධ සත්‍යය, තණ්හාවේ කෙළවර, තණ්හාව අවසාන කිරීම.

ඊළඟට බුදු හාමුදුරුවො කිව්ව මේ තණ්හාව කෙළවර කරන ක්‍රමයක් තියෙනව. අපිට ඕන විදියට කරන්ට බෑ. ඒ ක්‍රමය තමයි ‘දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්යය සත්‍යය’ කියල බුදු හාමුදුරුවො දේශනා කළා. කොහොමද මේ දුක නැති කරන්නෙ? අංග අටකින් යුක්ත ක්‍රියාමාර්ගයක්, ප්‍රතිපදාවක් තියෙනව. ඒක පුරපුවාම මේ දුක අවසාන වෙනව, නිරෝධයට පත් වෙනව. මොකක්ද මේ අංග අටකින් යුක්ත මාර්ගය කියල කියන්නෙ? “සම්මා දිට්ඨී, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි.” කවුරුත් දන්නව, කටපාඩමින් කියාගෙන කියාගෙන යයි. ඕන පොඩි ළමයෙක් ඉස්කෝලෙ, දහම්පාසල් ගියා නම් මේක දන්නව. දැන් එහෙම නම් අපි බලන්ට ඕන මේ අංග අටකින් යුක්ත මාර්ගය කියන්නෙ මොකක්ද කියල.

මොකක්ද මේ “සම්මා දිට්ඨි” කියන්නෙ? යහපත් දැකීම, අපි අහල තියෙන්නෙ ඒක, සම්මා කියන්නෙ යහපත්. පාලි වචනය යහපත්. සිංහල තේරුම යහපත්. දිට්ඨි කියන්නෙ දැකීම. ඉතින් යහපත් දැකීම. තව අය කියනව නිවැරදි දැකීම කියල. අපි ඉගෙනගත්තෙත් ඕක තමයි. මමත් ඉස්කෝලෙ යන කාලෙ ඉගෙනගත්තෙත් ඕක තමා. අපි හැමෝම දන්නෙත් ඕක. අපට ධර්ම දේශනාවලදීත් බොහෝ විට අහන්ට ලැබෙන්නෙත් ඕක. හැබැයි, ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය ඇත්තන්ගෙන් මම ඇහුවොත් මොකක්ද යහපත් දැකීම කියල මොකද කියන්නෙ? එක එක්කෙනා එක එක අර්ථකථන දෙයි. තම තමාට හැඟෙන විදියට, තම තමාගේ අත්දැකීම් ආකල්ප අනුව උත්තර දෙයි.

ඉතින් මෙහෙම දහම් දෙසන්ට නම් මම හිතන්නෙ නෑ බුදුවරයෙක් අවශ්‍ය වෙයි කියල. බුදු හාමුදුරුවො එහෙම කියල නෑ. සම්මා දිට්ඨිය මොකක් ද කියල නිශ්චිතවම දේශනා කරල තියෙනව: අවාසනාවකට අපිට ඒ දේවල් හරියට අහන්ට නොලැබුණාට. අපි අද අහමු, බුදුහාමුදුරුවො කිව්වෙ මොකක්ද සම්මා දිට්ඨිය කියන්නෙ කියලා. “දුක්ඛේ ඤාණං, දුක්ඛ සමුදයේ ඤාණං දුක්ඛ නිරෝධේ ඤාණං, දුක්ක නිරෝධ ගාමිණී පටිපදාය ඤාණං.”

(මතු සබැඳේ)

විශේෂ ස්තුතිය: දේශබන්ධු සිරිසුමන ගොඩගේ මහතාට.

නමස්කාර සඟරාව ඇසුරෙනි
www.namaskara.lk - 2014 සැප්තැම්බර්




2014 ඔක්තෝබර් මස නමස්කාර සඟරාවේ පලවූ ලිපියකි.

දුක නිවන දහම

මොකක්ද ‘සම්මා දිට්ඨිය’ කියල කියන්නේ? ‘දුක්ඛේ ඤාණං’ පළවෙනි එක; දුක පිළිබඳ දැනීම අවබෝධය. ඊළඟට ‘දුක්ඛ සමුදයේ ඤාණං’ දුකට හේතුව මොකක්ද කියල, ඒ පිළිබඳ ඇති කරගන්නා දැනුම; ආරම්භක වශයෙන් ඇති කරගන්නා දැනුම. ඊළඟට ‘දුක්ඛ නිරෝධේ ඤාණං’ දුක නැති කරගැනීම පිළිබඳ දැනුම. ඊළඟට ‘දුක්ක නිරෝධ ගාමිණී පටිපදාය ඤාණං’ දුක නැති කරන මාර්ගය පිළිබඳ දැනුම.

දැන් එතකොට අපිට කවදාවත්, මින් ඉදිරියට මේ කාටවත් මේ ධර්ම දේශනාව ඇහුවට පස්සෙ නම් කියන්ට බෑ ‘සම්මා දිට්ඨිය කියන්නෙ නිවැරදි දැකීම කියල. ‘සම්මා දිට්ඨිය, කියන එක ඔය අපට ඕන ඕන විදියට විග්‍රහ කරන්ට බෑ. බුදු හාමුදුරුවෝ සම්මා දිට්ඨිය යි කීවෙ ‘දුක්ඛේ ඤාණං’, ‘දුක්ඛ සමුදයේ ඤාණං’, ‘දුක්ඛ නිරෝධේ ඤාණං’, ‘දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාය ඤාණං’ කියල. මොකක්ද මේ කියන්නෙ? ආයෙත් චතුරාර්ය සත්‍යයමයි.

‘දුක්ඛේ ඤාණං’ අපි අර ඉස්සෙල්ල කථා කරපු ‘ජාතිපි දුක්ඛා’ කියල පටන් ගත්තු දුක් ගොඩ සහ අන්තිමට කියපු ‘සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා’ කියපු ඒ දුක්ඛ ආර්ය සත්‍යයේ විස්තර කරපු දුක තමයි. මේ ‘දුක්ඛේ ඤාණං’ කියන්නෙ. මේක අපි සම්බුදුවරයෙක්ගෙනුයි අහගන්නෙ. මුලින්ම බුදු හාමුදුරුවෝ අවබෝධ කරගන්නව, සම්මා සම්බුදුවරයෙක් නිසා. පසේ බුදුවරයෙකුටත් තනිවම අවබෝධ කරගන්ට බෑ. මුලින්ම අපි කරන්නෙ සද්ධර්මය තුළින් අපි අහනව ‘මෙන්න මේක දුකයි...’ මෙන්න මෙහෙම විස්තර දැනගෙන අන්තිමට ‘සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා’ කියන දුක බුදුවරයෙක්ගෙන් අහල දැනගන්නවා. ඒක තමයි කරන්නෙ. ‘සුතමය ප්‍රඥාව’ කියන්නෙ මේ අසා දැනගැනීම. එතකොට මොකක්ද ‘දුක්ඛේ ඤාණං’? දුක්ඛ ආර්ය සත්‍යය.

ඊළඟට අපි ධර්මය තුළින් අහනව, සද්ධර්ම ශ්‍රවණය මඟින්ම දුකට හේතුව තණ්හාව කියලා. ඒක තමා ‘දුක්ඛ සමුදයේ ඤාණං’ කියල බුදු හාමුදුරුවො කිව්වෙ.

ඊළඟට දුක නැති කිරීම- නිවන, නිරෝධ සත්‍යය

ඊළඟට දුක නැති කිරීමේ මාර්ගය, ආයෙත් ආර්ය අෂ්ටාංගික මාර්ගය. දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය.එතකොට අපිට ඉතා පැහැදිලියි ‘සම්මා දිට්ටිය’ කියන්නෙ චතුරාර්ය සත්‍යමයි. චතුරාර්ය සත්‍යය පිළිබඳ දැනුමම තමා සම්මා දිට්ඨිය කියන්නෙ. ඒක නිසා අපට මින් ඉදිරියට නම් කියන්ට බෑ, මේක ඇහුවට පස්සේ නම් කියන්ට බෑ සම්මා දිට්ඨිය කියන්නෙ යහපත් දැකීම, නිවැරදි දැකීම කියල. මින් ඉදිරියට කියන්ට එපා. ඒක කිව්වොත් වැරදියි: බුද්ධ දේශනාව විකෘති කිරීමක්, බුදු දහම අවලංගු කිරීමක් වෙනව. මේක මහා පාපකර්මයක්. මේකට කරගහන්ට එපා කවුරුවත්. හරියට දැනගන්ට මින් ඉදිරියට. සම්මා දිට්ඨිය කියන්නෙ චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනුමම තමා.

මෙන්න මේකම තමා අපට නැත්තෙත්, මේ කියන සම්මා දිට්ඨිය නැති නිසා තමයි, අද මේ රටේ මේ අපේ ජනතාව මහා දුකකට පත් වෙලා තියෙන්නෙ. මේක දැනගෙන හිටිය නම් අපේ මිනිස්සු අද මේ ධර්මය විකෘති වෙලා බුදු දහම මොකක්ද කියල සොයන්නට වෙන්නෙ නෑ. අපි අද බුදු දහම කියල වෙන වෙන දේවල් කරන්නෙ මෙන්න මේ සම්මා දිට්ඨිය නැති නිසා. දුක බව දැනගත්තා නම්, දුකට හේතුව තණ්හාව කියල දැනගත්තා නම්, මේ දුකින් මිදෙන්ට වෙන දේවල් කරන්ට ඕනෑද? අසනීප වෙන බව මේ දුක තුළ තියෙනවනෙ. ‘ව්‍යාධිපි දුක්ඛා’ කියල කිව්වනෙ. මේ දුක මේකට සාමාන්‍යයෙන් අපි මුහුණ දෙන්ට ඕන. ඉපදුණා නම් ජරාවට පත් වීම, මරණයට පත් වීම, පි‍්‍රය අයගෙන් වෙන් වීම, අපි‍්‍රය අය හා එක් වීම, අකැමැති දේවල් ලැබීම, කැමැති දේවල් නොලැබීම මේ කියන දුක කාටත් පොදු දේවල්. මේක අපි අහල තිබුණ නම් මේක තමා දුක කියල අපි මේකට කම්පා වෙන්ට ඕනෑද? නෑ. එතකොට මේක තමා ලෝකෙ යථාර්ථය.

ළඟට අපි දන්නව, මේකෙන් කාට හරි මිදෙන්න ඕන කියල හිතුණ නම් මේක දුකයි කියල හිතුණ නම් අපි කළ යුත්තේ මොකක්ද? බුදුන් වහන්සේ අපට දේශනා කළා මේ දුකට හේතුව: තණ්හාව. මේ දුක වගේම දුකට හේතුවත් අපි තුළමයි තියෙන්නේ. දුක තියෙන්නෙත් අපි තුළමයි: මේ බඹයක් තරම් ශරීරය තුළමයි. දුකට හේතුව තණ්හාව තියෙන්නෙත් මේ කය තුළමයි. එහෙම නම් මේ දුකෙන් මිදෙන්ට නම් අප කළ යුත්තේ තණ්හාව නැති කරන-එක. අපි ඒකද මෙතෙක් කල් කළේ?

ලෙඩක් හැදුණාම අපි මොකද කරන්නෙ? ළමයෙකු විභාගයකින් පාස් වෙන්ට ඕන නම් මොකද කරන්නෙ? මම මේ වෙනින් දෙයක් කියන්ට යන්නෙ. ඇත්තටම කරන්නෙ ඒක නෙවෙයි. ඇත්තටම කරන දේ හොයල බැලුවම පෙනෙයි. ඔව්. දැන් ලෙඩක් හැදුණාම ළඟම ඉන්න වෛද්‍යවරයා ළඟට අරන් යනව; නැත්නම් ළඟ තියෙන ඉස්පිරිතාලෙට අරන් යනව. ලෙඩා එහෙ දාල ඊළඟට යනව බෝගහක් ළඟට. ඒක තමා ගැටලුව. මම ඒකයි මේ කියන්ට ගියේ. තව සමහරු මොකද කරන්නෙ? දෙවියන්ට බාරයක් වෙනව. පඬුරක් අහක් කරනව. නොයෙකුත් දේවල් මතක් වෙනව. පිරිතක් කියමු, නූලක් ගැට ගහමු. ඇප නූලක් දාමු. සායි බාබා පුදමු. බජන් ටිකක් ගායනා කරමු. මේ ඔක්කොම අද රටේ තියෙන දේවල්. ඉතින් එතකොට ලෙඩක් හැදුණාම, විභාගයක් පාස් වෙන්ට ඕන වුණාම ටක්ගාල මොකද කරන්නෙ? ඔය කියන මොනව හරි පඬුරක් අහක් කරල, දෙවියන්ට බාර වෙලා, බෝගහට කිරි ටිකක් වක්කරලා, පූජාවක් කරලා ආදි බොහෝ දේවල් කරනව.

හුඟක් වෙලාවට රටේ මිනිස්සුන්ට දෙවියෝ බුදුන් මතක් වෙන්නෙ වරදින කොට, බුදු හාමුදුරුවො අපට කිව්වෙ: හැමදාම වරදින්නෙත් නෑ, හැමදාම හරියන්නෙත් නෑ කියල.

බුදු හාමුදුරුවො අපට දේශනා කළා ‘අෂ්ට ලෝක ධර්ම කියල දෙයක්. ලාභ-අලාභ, නින්දා-ප්‍රශංසා, යස-අයස සහ සැප-දුක කියල අටක්. ඉතින් හැමදාම දුක නෑ. සැපත් තියෙනව. අලාභත් වෙනව. ලාභත් වෙනව. මේවා ඇති වෙවී නැති වෙවී යනව. මේ සියලු දේට අප මුහුණ දිය යුතුයි. මේවට කිව්ව අෂ්ට ලෝක ධර්ම කියල. ඒවා සාමාන්‍ය ධර්මතා ඉතින් බෞද්ධයො නම් මේවා දැනගන්ට ඕන. බුදු හාමුදුරුවන්ගෙ දේශනා තමා මේ අෂ්ට ලෝක ධර්ම-දුක පිළිබඳ සත්‍ය අද බොහෝ අය දුක ගැන කථා කරන්ටත් කැමැති නෑ. දුකෙන් මිදෙන හැටි වෙනුවට දුක වෙනුවට ඔය ‘ධන චින්තනය’ වගේ දේවල් අල්ලාගෙන කොහොමද මේ දුකින් මිදෙන්නෙ. සමහරු කියනව බුදු හාමුදුරුවො දුක ගැන නෙවෙයි කිව්වෙ කියල.

ඇත්ත: දුක කියන්ට නෙවෙයි බුදුවරු පහළ වෙන්නෙ ‘පරම සැපත’ ගැන කියන්ට. පරම සැපතට යන කොට දුක දේ දුකයි කියල බුදු හාමුදුරුවො කිව්ව. සැප දේ සැපයි කියල කිව්ව. අද අවාසනාවට මේ දුක කියන දුක්ඛ සත්‍යයම දුක නොවෙයි කියන තත්ත්වයට වැටිල තියෙනව. මේක තමයි ප්‍රධානම අභාග්‍යය: බෞද්ධයෝ බුදුන් වහන්සේගෙ දේශනාව නොදැන බෞද්ධයන්යයි ප්‍රකාශ කරගෙන ජීවත් වීම. ඒකයි මම කියන්නෙ මේ බොහෝ දෙනාට සම්මා දිට්ඨිය තිබ්බ නම් අර විවිධාකාර දේවල් කරන්නෙ නෑ.

ඔය බාහිර පුදපූජා සිරිත්විරිත්, බාරහාර, පුදපූජා වැනි තේරුමක් නැති දේවල් කරන්ට යන්නෙ නෑ. සැබෑ බෞද්ධයාට සම්මා දිට්ඨිය තියෙනව. සම්මා දිට්ඨිය නැති නිසා සම්මා දිට්ඨිය කියන්නේ මොකක්දැයි නොදැන සම්මා දිට්ඨිය නැතිව බෞද්ධ කියන ලේබල්–එක ගහගත්ත අය තමයි අර වගෙ දේවල් කළේ. ඉස්සර මමත් එහෙමයි. පුංචි කාලෙ මගෙ අම්මා මාව පන්සල් එක්කරගෙන ගිහින් අර පුදපූජා, සිරිත්විරිත් කළා. ඉතින් අන්තිමට කිව්ව, පුතේ උඹත් බුද්ධාගම්කාරයෙක්. අපි බෞද්ධයො කියල. අම්ම තමයි මට ලේබල්-එක ගැහුවෙ ‘බුද්ධාගම්කාරය’ කියල. ඉතිං අපි මේකෙ තමයි හිටියෙ. ඒක තමයි අපිට තියෙන දේ.

ඇත්තටම බෞද්ධයා කියන්නෙ...” බෞද්ධයාගෙ විශේෂ ලක්ෂණය තමයි සම්මා දිට්ඨිය තියෙන්ට ඕන. සම්මා දිට්ඨිය නැති නිසා තමයි අර කියපු දේවල් කරන්නෙ. සම්මා දිට්ඨිය දැනගෙන හිටියා නම් දුක්ඛ සත්‍යය දන්නවා. එහෙම නම් ඒකට හේතුවත් එයා දන්නව. දුකට හේතුව තණ්හාව, තණ්හාව නැති කළොත් තමයි දුක නැති වෙන්නෙ. ඒක නිසා අපි කරන්නෙ මොකක්ද? තණ්හාව නැති කරන ක්‍රියාමාර්ගය පිළිපදිනව මිසක් ‘දුකට හේතුව බෝ ගහ’ කියල බුදුහාමුදුරුවො කිව්වෙ නෑනෙ? ඉතින් දුක නැති කරගන්ට වත් සැප සොයාගන්ටවත් බෝගහ ළඟට ගියොත් සම්මා දිට්ඨිය තිබ්බා වෙනවද? නෑ.

පැහැදිලිව මේක තේරුම් ගන්ට ඕන. සමහර අයට මේ කියන දේට රිදෙයි. කරන්ට දෙයක් නෑ. කාටවත් රිදවන්ට වත් වෙනත් චේතනාවකින් කාව වත් උස්සල තියන්ට වත් බිම දාන්ට වත් හෙම මේවා කියනවා නොවෙයි. මේවා කියන්නෙ බුදු හාමුදුරුවො කියපු දේ සොයාගන්ට. එතකොට දුක්ට හේතුව තණ්හාව නිසා තණ්හාව නැති කිරීමයි කළ යුත්තේ. ඒ වෙනුවට අර මම ඉස්සර වෙලා කිව්ව වගේ බෝ ගහ ළඟට යෑම, නැත් නම් දෙවියන්ට බාරහාර වීම. පුදසත්කාර පැවැත්වීම, නූල් බැඳීම, වගේ ඔය කියන බාහිර කිසිම දෙයක් කරල මේ දුකින් ගැලවීමක් ලැබෙන්නෙ නෑ කියල බුදුහාමුදුරුවො කියපු බව තමයි අපි දන්නෙ චතුරාර්ය සත්‍ය දේශනාව. පැහැදිලිද ඒ කියපු දේ?

එහෙම නම් සම්මා දිට්ඨිය තියෙන්ට ඕන. සම්මා දිට්ඨිය තමයි ප්‍රධානම සාධකය බෞද්ධයෙක් වීමට. මොකද: ඒ සම්මා දිට්ඨිය තියෙන්නෙ බුද්ධ දේශනාව තුළ පමණයි. වෙන කිසිම ආගමක සම්මා දිට්ඨිය නෑ. සම්මා දිට්ඨිය කියන තැන දුක, දුකට හේතුව, දුක නැති කිරීම සහ දුක නැති කරන මාර්ගය යන අංග හතර ම තියෙනව. මේක අංග සම්පූර්ණ දේශනාවක්. දුකට හේතුව තණ්හාව නැති කළාම නිවන, දුකින් මිදෙන තැන. මේකට කරන්ට ඕන ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිපදින ප්‍රතිපදාව කියල දේශනා කළා. වෙන කිසිම ආගමක මේක නෑ. මොකද? දුක තියෙනව කාටත්. දුකට හේතුව තණ්හාව කියල කියන්නෙ නෑ. බොහෝ ආගම්වල ඒගොල්ලන්ගෙ කවුරු හරි සර්වබලධාරි දෙවි කෙනෙක්. කවුරු හරි මැවුම්කරුවෙක් ඉන්නව කියන චේතනාව තියෙන්නෙ. එහෙම හිතාගෙන ඒ අයට පුදසත්කාර කරමින් යාච්ඤා කරමින් යම් යම් වතාවත්වල යෙදෙනවා. ඒවා වැටෙන්නෙ නෑ බුද්ධ දේශනාවට. ඒ හින්දා ඒ දේවල් මොකවත් සම්මා දිට්ඨියට වැටෙන්නෙ නෑ. ඒත් බෞද්ධයා කියල කියන්නෙ සම්මා දිට්ඨියට තියෙන අයට. ඉතින් අපි කරන්ට ඕන මොකක්ද? දුක පිළිබඳ දන්නව, දුක නැති කරගන්න ඕන.

දුකට හේතුව තණ්හාවයි. ඒක නැති කරන්ට වීරිය කරන්ට ඕන. ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩලා ඒ ක්‍රියා පිළිවෙතින් දුකින් මිදෙනවා කියන චේතනාව තමයි අපට තියෙන්නෙ. මේක තමා සම්මා දිට්ඨිය. එතකොට සම්මා දිට්ඨිය තියෙන්ට ඕන. ඒක අංක එක. සම්මා දිට්ඨිය තියෙන කෙනා නිකම් ඉන්නේ නෑ. ඊළඟ දේට යනවා.

ඊළඟ මාර්ග අංගය තමයි සම්මා සංකප්ප. සම්මා සංකප්ප කීවෙ මොකක්ද? ආයෙත් කියයි “යහපත් සංකල්පනා, නිවැරදි සංකල්පනා” කියල. දොස් කියන්ට බෑ. අහන්ට ලැබෙන දේනෙ? එහෙම කියල බෑ. බුදු හාමුදුරුවො කිව්ව සම්මා සංකප්ප කියන්නෙ මොකක්ද කියල. දැන් අපි දන්නව සම්මා දිට්ඨිය තුළ අපි දැක්කා දුක කිව්වෙ දුක්ඛ සත්‍යය. අපි දන්නව මොකක්ද දුක, දුකට හේතුව, තණ්හාව, අපි මේ තණ්හාව නැති කරන්ටයි යන්නෙ. නැති කරලනෙ දුකින් මිදෙන්ට ඕන. දුක තේරුම් ගත්ත නම් දුකින් මිදෙන්ට මොකක්ද කරන්න ඕන. දුකට හේතුව තණ්හාව නම් තණ්හාව නැති කරන්ට ඕන.

තණ්හාව කියන්නෙ මොකක්ද? ප්‍රධාන ම වශයෙන් අපි ජීවත් වෙනව කියල මොකද කරන්නෙ? ඇසින් රූප දකිනව; ආස්වාද කරනව, කැමැති එකේ ඇලෙනව. අකැමැති එකේ ගැටෙනව. කනින් ශබ්ද අහනව; කැමැති එකේ ඇලෙනව. අකැමැති එකේ ගැටෙනව. ප්‍රතික්ෂේප කරනව. නාසයෙන් ආඝ්‍රාණය කරනවා. පි‍්‍රය එකේ ඇලෙනව, අපි‍්‍රය එකේ ගැටෙනව. දිවට රසත් එහෙමයි. පි‍්‍රය එකේ ඇලෙනව, අපි‍්‍රය එකේ ගැටෙනව. කයට ස්පර්ශත් එහෙමයි. පි‍්‍රය එකේ ඇලෙනව, අපි‍්‍රය එකේ ගැටෙනව. මනසට සිතිවිලිත් එහෙමයි. පි‍්‍රය එකේ ඇලෙනව. අකැමැති එකේ ගැටෙනව. ආයතන හරහා දොරටු හරහා අරමුණු ගන්නව. කැමැති එකේ ඇලෙනව, අකැමැති එකේ ගැටෙනව. ජීවත් වෙනව කියන්නේම ඇලෙනවා ගැටෙනවා.

සිත තියෙන්නෙ මේ අන්ත දෙකේ. ඇලෙමින් ගැටෙමින් කැමති ඒවා සොයසොයා යනව. ඒකනේ රට වටේ යන්නෙ. විනෝද ගමන් යනව. වටවන්දනාවෙ, අටමස්ථාන වන්දනාවෙ එහෙම යනව. හරියට බැලුවොත් මොකක්ද කරන්නෙ කියල තේරෙයි. වන්දනාවද? එහෙම නැත් නම් වෙනත් දෙයක්ද? එතනත් ගිහින් කළේ ආස්වාද කරන-එක. කට වටේ ලෝකෙ නොයෙකුත් දේවල් දකිමින් ආස්වාද කරනව. ඇස පිනවනව, කන පිනවනව, නාසය පිනවනව, දිව පිනවනව, මේක තමයි ජීවත් වෙනව කියන්නෙ. මේක තමයි අපි කිව්වෙ ‘කාම’. එතකොට මේකනෙ අපි කළේ? සාමාන්‍ය රටේ ලෝකේ ජනතාව ඉන්නෙ මේ සංකල්පනාවල. සිතේ හැම වෙලාවෙම තියෙන්නෙ: කොහොමද මම ඇස පිනවන්නෙ? කන පිනවන්නෙ? සැප විඳිනව කියල තමයි හිතන්නෙ. සැප විඳිනව කියන්නෙ ඉන්ද්‍රිය පිනවීම. ජීවත් වෙනව කියන්නේ ඉන්ද්‍රිය පිනවීම. මෙන්න මේ ඉන්ද්‍රිය පිනවන-එකේ තමයි චේතනාව තියෙන්නෙ. මේවා මොන සංකල්පනාද? කාම සංකල්පනා. මිනිස්සු හැම වෙලාවෙම ඉන්නෙ කාම සංකල්පනාවල. හැම වෙලාවෙ ම හිත තියෙන්නෙ කාම විතර්කවල.

එතකොට මේවට තියෙන තණ්හාව නිසානෙ දුක ඇති වෙන්නෙ. දුක නැති කරන්ට නම්, අපි හැමදෙනාම ළඟ තියෙන්නෙ කාම තණ්හාව නම් අපි දැන් ඇති කරගන්නවා නිවන් මගේ ගමන් කරන පුද්ගලයෝ වශයෙන්, බෞද්ධයෝ වශයෙන්, බුදුන් වහන්සේගෙ ශ්‍රාවකයෝ වශයෙන් මේවගෙන් මිදෙන්ට තීරණය කරනව. ඒකට කියනව ‘නෙක්ඛම්ම සංකල්පනා’ කියල.

(මතු සැබැඳේ)

නමස්කාර සඟරාව ඇසුරෙනි
www.namaskara.lk - 2014 ඔක්තෝබර්




2014 නොවැම්බර් මස නමස්කාර සඟරාවේ පලවූ ලිපියකි.

දුක නිවන දහම

ධම්මචක්කප්පවත්වන සූත්‍රය ඇසුරෙන් බුදු දහම පැහැදිලි කිරීමේ ලිපි පෙළක තුන්වැන්නයි මේ. ‘සම්මා සංකප්පය’ මේ මඟින් විස්තර වේ.

මොකක්ද මේ සම්මා සංකප්ප. පළමුවෙනි-එක තමයි නෙක්ඛම්ම සංකල්පනා. අපේ හිතේ තියෙන්නෙ කාම සංකල්පනා. අපි තීරණය කරනව එයින් මිදෙන්ට, නෙක්ඛම්ම සංකල්පනා ඇති කරගන්ට. කාමයන්ගෙන් ඉවත් වෙනව. දැන් මේක අතහරිනව. අපි මෙච්චර කල් මොනවද කළේ? කාම සංකල්පනාවල ඉඳගෙන මේ ඉන්ද්‍රිය පිනවන්ට අවශ්‍ය කරන සම්පත් හොයන-එක, උපයන-එක, රැස් කරන-එක, ගොඩ කරන-එක. ඒකනෙ කළේ. රැකියා කරනව කියන්නෙ ගොවිතැන් කරනව කියන්නෙ, වෙළෙඳාම් කරනව කියන්නෙ මොනවද? මේ ඉන්ද්‍රිය පිනවන්න කාම සම්පත් ලබාගන්නා ක්‍රම, උපයාගන්නා ක්‍රම. දැන් මේ කාම සම්පත් හරි සීමිතයි. හැම වෙලාවේම අපට ඕන ඕන විදියට ලැබෙන්නෙ නෑ. සෑහෙන වෙහෙසක් ගන්ට ඕන. සෑහෙන අරගලයක් කරලයි මේව අපි එකතු කරගන්නෙ, රැස් කරගන්නෙ, ලබාගන්නෙ. ඉතින්, මේවා කරන්ට යන කොට අපේ අතින් නිතැතින්ම සිදු වෙනව තව දේවල්. මොනවද? ඒ තමයි: කාමයන් එක්කම අනිවාර්යයෙන්ම ඇති වෙනව ව්‍යාපාද, විහිංසා දෙක.

මේ ලෝකෙම අද ගිනි ගන්නෙ, යුද්ධ කරන්නෙ, ජාතිවාදී අරගල, වර්ගවාදී වර්ණභේද අරගල, ගෙදර-දොරේ පවුලේ අඬදබරවල ඉඳල ලෝක යුද්ධය දක්වා මේ සියලු යුද කටයුතුවලට හේතු වන ප්‍රධාන සාධකය මොකක්ද? කාම සංකල්පනා. එතකොට මේ කාමයන් සන්තර්පණය කරන්ට යනකොට අනිවාර්යයෙන්ම ව්‍යාපාද, විහිංසා දෙක ඇති වෙනවා. එතකොට අපි නෙක්ඛම්ම සංකල්පනා ඇති කරගන්න කොට, අනිවාර්යයෙන්ම කාමයන්ගෙන් මිදෙනව කියල හිතන කොටම මොකද වෙන්නෙ? අනිවාර්යයෙන් අනිත් දෙකත් කරනවා. මොනවද? ව්‍යාපාද, විහිංසා වෙනුවෙන් අව්‍යාපාද, අවිහිංසා කියන සංකල්පනා ඇති කරගන්නව. එතකොට අපි දන්නව කාමයන් නිසා තමයි හිංසාව තියෙන්නෙ. කාමයන්ගෙන් මිදෙනව කියල තීරණය කළා ම හිංසාවෙනුත් මිදෙනව කියන සිතිවිල්ල ඉබේම එනව. පැහැදිලිද කියපු දේ? දැන් මේක ක්‍රියාත්මක කරන්ට ඕන. මේවා කිය-කියා ඉඳල හරි යන දේවල් නොවෙයි. සම්මා දිට්ඨිය තියෙන කෙනාට අනිවාර්යයෙන්ම සම්මා සංකප්ප තියෙනව. අනිවාර්යයෙන්ම බෞද්ධයා කියන කෙනාට සම්මා දිට්ඨිය තියෙනව. එහෙම නම් අනිවාර්යයෙන්ම එයා ළඟ සම්මා සංකප්පත් තියෙන්ට ඕන.

දෙවැනි අංකය හැටියට නම් අනිවාර්යයෙන්ම බෞද්ධයා කාමයන්ගෙන් මිදීමේ චේතනාවෙන් ඉන්නෙ. එහෙම නම් එයා මොනවද කරන්නෙ? ඒකට මිදෙන්ට ඕන ක්‍රියාකාරකම් කරන්ට ඕන. කාමයන්ගෙන් වෙන් වෙන්ට කරන්ට ඕන ප්‍රධානම කාර්යය මොකක්ද? මුල්ම කාර්යය මොකක්ද? ඒක පටන් ගන්නෙ කොහෙන්ද? දානයෙන්, දීමෙන්. මෙතෙක් අපි කළේ එකතු කිරීම, රැස් කිරීම, ගොඩ කිිරීම දැන් ඒකට ප්‍රතිවිරුද්ධ දේ කරනව. දන් දෙනවා, පරිත්‍යාග කරනවා, අත්හරිනවා. මේ දුකට හේතුව අල්ලාගැනීම, තණ්හාව රැස් කිරීම නම් දුකින් මිදෙන්ට අපි අත්හැරීම පුරුදු කරන්ට ඕන, පුහුණු කරන්ට ඕන.

එතකොට බෞද්ධයා කියන්නෙ දීමට දිගු කළ දෑත් ඇතිව ජීවත් වන කෙනෙක්. ඒක අනිවාර්යයි. අපේ අතීතයේ එහෙම අය හිටිය. අපි දැන් කථා කරනවා, අතීත ශ්‍රී විභූතිය ගැන. කිය-කියා හිටියට අපට ඒ ශ්‍රී විභූතියට යන්ට බෑ. එතෙන්ට යන්ට නම් අපි ඒ ගොල්ලො කියපු කරපු දේවල් කරන්ට ඕන. මොකද: මීට වඩා හොඳ බෞද්ධ සමාජයක් එදා තිබ්බ. ඒ අයට අපට වඩා තිබුණ සම්මා සංකප්ප. ඉස්සර දුකයි කීවම කවුරුත් කලබල නෑ. දුක බව දන්නව. අපේ ආත්තම්මලා එහෙම පැහැදිලිවම කියනව, “අනිච්චං දුක්ඛං සංසාරේ” කියල. අද අහන්ටවත් තියෙනවද “අනිච්චං දුක්ඛං?” නෑ. දැන් ඔක්කොම නිත්‍ය, සුඛ, ආත්මනෙ තියෙන්නෙ. නේද? ඉස්සර අයට මේ හැඟීම තිබුණ. ඒක නිසා ඒ ගොල්ල අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන-එක දැනගෙන හිටිය නිසා ඒ ගොල්ලො දැඩිව අල්ලගන්ට ගියේ නැහැ, රැස් කළේ නෑ. බොහොම සරල චාම් ජීවිත ගත කළේ. අල්පේච්ඡ ජීවිත ගත කළේ. අද ඒක නෑ. අද දීමට දිගු කළ දෑත් නෑ. අද ඉන්න ඇත්තො ලෝකෙන් මොනවද අපට ලැබෙන්ට තියෙන්නෙ, කොහෙන්ද මොනව හරි කඩාවඩාගන්නෙ, රැස් කරගන්නෙ, මගෙ ගොඩ ලොකු කරගන්නෙ, නම ලොකු කරගන්නෙ කියන චේතනාවෙ ඉන්නෙ.

ලාභ-සත්කාර, කීර්ති-ප්‍රශංසා කියන ඒවා ගොඩගහගන්න ගොඩේ තමයි අපි ඉන්නෙ. ඒක නිසා තමයි අද මේ සමාජය මේ තරම් පරිහානියට පත් වෙලා තියෙන්නෙ. මොකද: නෙක්ඛම්ම සංකල්පනා නෑ. අත්හැරීම නෑ. ඒ කියන්නෙ දීම නෑ. දෙන්ට කැමැති නෑ. ඉස්සර අපි: මමත් පුංචි කාලෙ වතුර බීල තියෙනව පිංතාලියෙන්. වතුර නිකම් දෙන්නෙ. ඕන තරම් බොන්ට වතුර තිබුණ. පසුකාලීනව මේ දියුණුයි කියන සමාජය දියුණු වීගෙන යන කොට මොකද කළේ? ඒ පින්තාලිය ඉවත් කළා. හන්දි ගානෙ ටැප් හයි කරන්ට කටයුතු කළා. ප්‍රාදේශීය සභාවෙන් හරි, නගර සභාවෙන් හරි. කාලයාගේ ඇවෑමෙන් ඒවත් නැතිව ගිහිල්ල අද සල්ලිවලට වතුර බොන්නෙ. ඔන්න චෙච්ච දේ.

ගමක් ගානෙ අම්බලම් තිබ්බ නවාතැන් ගන්ට. අද ඒ වෙනුවට රෙස්ට් හවුස් නැත් නම් ගෙස්ට් හවුස් කියන විවිධාකාර නම්වලින් මුදලට නේවාසික නැත් නම් නවාතැන් පහසුකම් දෙන ආයතන බිහි වුණා. ඉස්සර කාලෙ ඔය ගස්වල ගෙඩි හටගන්න කාලෙට අපි දැකල තියෙනව කොස්ගස්වල ගෙඩි එහෙම පිරිල තියෙන කාලෙට අපේ වැඩිහිටියො මේව කඩලා කපල-කපල හරකුන්ට කන්ට දෙනවා. සමහර වෙලාවට කොස් සුද්ද කරලා අරගෙන තම්බල බල්ලන්ට එහෙම ඇති වෙන්න කන්ට දෙනවා. බලු-කපුටු දාන කියල ඉස්සර දුන්නා. ඉස්සර මිනිස්සු විවිධ දන් දුන්නා. දන් දෙන්න හරි ආසයි. අද අපට ඒව අහන්ටවත් ලැබෙන්නෙ නෑ. ඒ හින්දා අප කිසිවක් දෙන්නෙ නෑ. ඒක නිසා අද මිනිස්සුන්ගෙ හිත් ගොරෝසු වෙලා. ගොරහැඬි වෙලා යන්ත්‍ර බවට පත් වෙලා. රැස් කරන්ට ගිහින් එකා පිට එකා පරයා ධනය පස්සෙ හඹාගෙන යන කොට මිනිස්සුන්ගෙ තියෙන ගුණධර්ම නැතිව ගියා. ඒකෙන් වුණේ මොකක්ද? මිනිස්සු අතර මහා භයක් ඇති වුණා. මිනිස්සු මහා භයකින් අද ජීවත් වෙන්නෙ.

ඉස්සර වගේ නෙවෙයි, එදා විසාලා මහනුවර නම් තිබුණා තුන් බිය කියල අමනුෂ්‍ය භය, රෝග භය, දුර්භීික්ෂ භය කියල භය තුනක්, නමුත් ඒ බිය තුනටම වඩා මහා බියකින් දැන් මේ රටේ ජනතාව පෙළෙනව. මොකක්ද ඒ භය? ඒ භය තමයි මනුස්ස භය. මනුෂ්‍ය භය ඇයි මේ? දන් දෙන්නෙ නෑ. දන් දෙන මිනිස්සු ඉන්න සමාජයක, දීමට දිගු කළ දෑත් ඇතිව ජීවත් වන පරාර්කාමී, දානශීල, ත්‍යාගශීලී මිනිස්සු ඉන්න සමාජයක භය නෑ. ඔවුන් සමාජයේ ඉන්න මිනිස්සු දිහා හරි අනුකම්පාවෙන් බලන්නෙ. සතා සිවුපාවාට පවා කුරාකූඹියාට පවා කරුණා මෛත්‍රී දෙක තිබ්බා. මොකද? නෙක්ඛම්ම සංකල්පනා එක්ක අනාවාර්යයෙන්ම ව්‍යාපාද, විහිංසා දෙක නැහැනේ. අව්‍යාපාද අවිහිංසා තමා කරුණා මෛත්‍රිය දෙකට තියෙන්නෙ.

දැන් කරුණා මෛත්‍රී දෙක නෑ. මොකද, දැන් තියෙන්නෙ තණ්හාව. අර නෙක්ඛම්ම සංකල්පනා නෙවෙයි. කාම, සංකල්පනා තියෙන්නෙ. ඒ හින්ද මිනිස්සු හරි හිංසාකාරියි. දැන් මිනිස්සු හිතන්නෙ එකක්, කියන්නෙ තව එකක්, කරන්නෙ ඊටත් වඩා හාත්පසින්ම වෙනස් එකක්. ඒ හින්ද කිසිම මිනිසකු කෙරේ විශ්වාසයක් තියන්ට බෑ. ඒනිසා එකාට එකා බයෙන් ජීවත් වන සමාජයක් ගොඩනැගිල තියෙනව. මෙන්න අපිට වෙච්ච දේ. මෙන්න වෙච්ච විනාශය. මේ විනාසෙ සිද්ධ වුණේ ඇයි? මේ සියයට හැත්තෑවක් බෞද්ධයො ඉන්නවයි කියන රටේ බෞද්ධයෝ හිටිය නම් මේක වෙන්නෙ නෑ. ඒක නිසා තමයි මේ විනාශයට හේතුව. එතකොට අපි ළඟ සම්මා සංකප්ප තිබිල නෑ. අපි බෞද්ධ නම් මින් ඉදිරියට මේ සංකල්පනා ඇති කරගන්ට ඕන.

මොනවද මේ සංකල්පනා? නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා, දැන් අපි පුරුදු කරන්ට ඕන දෙන්ට දන් දෙන්ට. දැන් අපේ රට මේ රටේ ජනතාව අර ඉස්සර තිබ්බ ලොකු දාන කෙසේ වෙතත් මම මුලින් කියපු අර පින්තාලි, ඒ වගේ දේවල් අහිමි වුණා පමණක් නෙවෙයි, අම්බලම් නැති වුණා පමණක් නොවෙයි, කොහොමවත් ම දන් දෙන්නෙ නැති තත්ත්වයට පත් වෙලා ඉවරයි.

දැන් හුඟක් අයගෙන් අපි ඇහුවොත් දානෙ එහෙම දෙනවද කියලා ඔක්කොමල කියනව “ඔව් අපි දානෙ දෙනව.” කොහොමද දෙන්නෙ කියල ඇහුවම “අපි පන්සලට දානෙ ගිහින් දෙනව.” “මාසෙකට සැරයක් කෑම ටිකක් ගිහින් දෙනව හාමුදුරුවන්ට.” මේ රටේ වැඩියෙන්ම විවේචනයට ලක් වන කණ්ඩායම භික්ෂු සමාජය. මුළු මාසෙ දවස් විසිනවයක් ම ගමේ පන්සලේ හාමුදුරුවන්ව විවේචනය කරමින් ඉඳලා, එක දවසක් පන්සලට දානෙ ටික ගිහින් දෙනවා. මොකද හේතුව? මේක නොදී බෑ. නුදුන්නොත් අවසානයේ අර හැම කෙනෙකුම මුහුණ දෙන සිද්ධිය, එක්තරා විදියක මළමිනී වන්දනාව කියල සරලව කියනව. අපි, ඒක දැන් චාරිත්‍රයක් බවට පත් වෙලා.

මරණයට පස්සෙ තියෙන පාංශුකූලය කියන චාරිත්‍රය සඳහා භික්ෂූන් වහන්සේ කැඳවාගන්ට ඕන නිසා හාමුදුරුවන්ට දානෙ ටික නුදුන්නොත් උන් වහන්සේ තරහ වුණොත්, අපේ පාංශු කූලයට එන්නෙ නැති වෙයි කියල බයට, කෑම ටික ගිහින් දෙනව. එතකොට මෙතන තියෙනවද නෙක්ඛම්ම චේතනාව, දන් දීමේ චේතනාව, කරුණා-මෛත්‍රි දෙක. අනේ, භික්ෂූන් වහන්සේට එහෙම නැත් නම් පන්සලේ හාමුදුරුවන්ට දානෙ ටික දුන්නෙ නැත් නම් උන් වහන්සේ කොහොමද ජීවත් වෙන්නෙ කියන චේතනාවෙන්ද, උන් වහන්සේ සුඛිත මුදිත කිරීමේ චේතනාවෙන්ද මේ දානෙ ටික දෙන්නෙ? නෑ. වෙන ගනුදෙනුවක් මෙතන සිද්ධ වෙන්නෙ. එහෙම නේද හුඟක් වෙලාවට අපි කරන්නෙ ඒක.

ඊට අමතර ව ගත්තොත් මොනවටද? එක්කො මව, අම්මා මැරෙන්ට ඕන. එහෙම නැත් නම් පියා, අප්පච්චි මැරෙන්ට ඕන. ඉතින් අම්මා තාත්ත මැරුණෙ නැත් නම් අපි දන් දෙන්නෙ නැද්ද? මේක තමයි තියෙන ප්‍රශ්නෙ. අම්ම තාත්ත මැරෙන්ට ඕන. මොකද: එතකොට හත් දවසෙ දානෙ, තුන් මාසෙ දානෙ දීලා අපි පින් පමුණුවන්ට ඕන. පුදුම වැඩේ කියන්නෙ අපේ අම්මලා තාත්තලා කවදාවත් පිනක් දහමක් කරගෙන නෑ. පුතාලම තමයි ඉතින් මැරුණට පස්සෙ පින් කරන්ට ඕන. දන් දෙන්ට ඕන. පින් දීලා පින් අනුමෝදන් කරන්ට ඕන. අපිත් දැන් ඒ චේතනාවෙ ඉන්නෙ. අපිත් මැරුණම අපේ දරුවො අපට පින් අනුමෝදන් කරයි. කවුරුත් දැන් පින් කරගන්නෙ නෑ. බැලුවාම ඒක තමයි දැන් වෙන්නෙත්. දන් දෙන්න ගිහිල්ලත් දානෙ නෙවෙයිනෙ දෙන්නෙ. හොඳට හොයල බැලුවොත් දෙන දානය වුණත් අරන් බැලුවොත්, කොට්ට උරයක් ගිහින් පූජා කළත් ඒකෙත් ලියනව “අහවලාට පිං පිණිස දරුවන් විසින් පූජා කරන ලදි” මේ වෙළෙඳ දැන්වීමක්ද-නැද්ද? දැන්වීමක්. මම අහල තියෙනව ක්‍රිස්තුන් වහන්සේත් දානය ගැන කථා කරල තියෙනව.

 උන්වහන්සේ කියල තියෙනව “දකුණු අත දෙන දේ වම් අතටවත් දැනගන්ට තියන්ට එපා” කියල. බලන්න කොච්චර සුන්දර ප්‍රකාශයක්ද? ඒකයි, දන් දෙනවා නම් දුන්නා. දීම – අතහැරීම. ඒකෙ ආයෙ කියකියා නම් ගගහ දැන්වීම් දාන්ට ඕන නෑ. කොට්ට උරෙයි, ටියුබ් ලයිට්එකෙයි, ඇඳෙයි, පුටුවෙයි, මේසෙයි, පිඟානෙ පවා දැන් නම ගහග. මේක වෙළෙඳ දැන්වීිමක්. එතකොට තව සමහරු පත්තරවල පිටු ගණන් දැන්වීම් දානව. බෙර ගහල පින් වාක්‍ය කියල ශබ්ද විකාශන යන්ත්‍ර දාල තමයි දන් දෙන්නෙ. මේක සූක්ෂ්මව සොයල බැලුවොත් තේරෙයි මොනවද කරල තියෙන්නෙ කියල. සම්පූර්ණනේම තමාගේ ප්‍රතිරූපය පුම්බගන්න කරපු වැඩක් මිසක් අර කිව්ව නෙක්ඛම්ම චේතනාවෙන් කරුණා-මෛත්‍රී දෙක පෙරදැරි කරගෙන දීමක්, හැබෑ දන් දීමක් නොවෙයි කරල තියෙන්නෙ. එතකොට මේක බෞද්ධ දන්දීමක් නොවෙයි.

එතකොට බෞද්ධයා කියන කෙනා නැත් නම් සම්මාදිට්ඨිය ඇති කරගත්තු කෙනා දන් දෙන්ට ඕන කොහොමද? නෙක්ඛම්ම චේතනාවෙන්. තමාගේ තණ්හාව දුරු කරගැනීමේ චේතනාව ඇතිව. මුළුමනින්ම නිවන් දකින්ට බෑ දන් දීමෙන්. නමුත් අපි ආරම්භක වශයෙන් දෙන දේ කෙරෙහි ලෝභකම නැති කරගන්න සිතින් තමයි දන් දෙන්ට ඕන. නැත් නම් අපි අනෙක් පැත්තෙන් හිතල දන් දෙන්ට ඕන. මෙය ලබන කෙනා මේක ලබාගෙන සුඛිත-මුදිත වෙයි මේක පරිභෝජනය කරල කියන චේතනාවෙන්. එතන තියෙන්නෙ කරුණා, මෛත්‍රී දෙක. බෞද්ධයො දන් දෙන්ට ඕන. නෙක්ඛම්ම චේතනාවෙන් සහ අර කියන කරුණා-මෛත්‍රී දෙක පෙරදැරි කරගෙන මිස වෙනත් ලාභ සත්කාරයක්, කීර්තියක්, ප්‍රශංසාවක් වශයෙන් මොනවත් බලාපොරොත්තුවෙන් නෙවෙයි. අපිට දැන් ඒක පුරුදු නෑ. අපි අර කියන වාණිජ තත්ත්වෙට වැටිල නිසා අපේ සිත් එන්ට එන්ටම නරක් වෙලා. කුණු ගඳ ගහන ඔඩුදුවපු තුවාල බවට පත් වෙලා. ඒක නිසා තමයි. අපිට අද අල්ලපු ගෙදර මනුෂ්‍යයා කාල-ඇඳල ඉන්නවා බලන්ට බෑ. අසල්වැසියා හොඳින් ඉන්නව දකින්ට බෑ. මේක අර ක්‍රිස්තුන් වහන්සේත් කිව්වනෙ. මේක හොඳට දැක්ක එතුමා කිව්වෙ මොකක්ද? “අසල්වැසියාට ප්‍රේම කරපල්ලා” කිව්ව. දැක්කද? ඇයි? අසල්වැසියාටමනෙ ප්‍රේම කරන්නට බැරි! ඇහේ කටු අනිනව හොඳින් ඉන්නව දැක්කම. ඉතින් ඒ කියන්නෙ අපට පුළුවන් නම් අසල්වැසියාට ඒ දේ කරන්ට, මුළු ලෝකෙටම එහෙම කරන්ට පුළුවන්.

(මතු සබැඳේ )

නමස්කාර සඟරාව ඇසුරෙනි
www.namaskara.lk - 2014 නොවැම්බර්




2014 දෙසැම්බර් මස නමස්කාර සඟරාවේ පලවූ ලිපියකි.

දුක නිවන දහම

දම්සක්පැවතුම් සුතුර ඇසුරෙන් බුදු දහමේ පදනම පැහැදිලි කරන ලිපි පෙළක සිව් වැන්නයි.

බොහෝ වෙලාවට දානයක් දීල ප්‍රාර්ථනා කරනව නෙ දෙව්-මිනිස් සැප? නිදුක්-නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනව. එතකොට අත්හැරීම නම් ප්‍රාර්ථනා කළත් නැවත තෘෂ්ණාවට යනව.

අපි ප්‍රාර්ථනා කරන්ට ඕන නෑ. ඒ දෙන දේ ආනිසංස තියෙනව. දැන් බලන්න අපි සතෙක්, මදුරුවෙක් මරනවා. මරල කවුරුවත් ප්‍රාර්ථනා කරනවාද? මේ මදුරුවා මරපු අකුසල කර්මය හේතුවෙන් මාව නිරයට පත් වේවා කියල. නෑ. හැබැයි එහෙම නොකළා කියල ඔහු දුගතියට නොයා ඉඳියිද? ඉතින් අකුසලයක් කළොත් දුගතියට යනව වගේමයි කුසල කර්මයක් කරල ආයෙ ප්‍රාර්ථනා කර-කර ඉන්ට ඕන නෑ ඔහු සුගතියට යනව. හැබැයි, සුගතියට යන්න ආයෙ ඉල්ලන්ට කරන්ට යනව කියන්නෙ අපි නැවතත් තණ්හා සිතක් ඇති කරගන්නව.

මේ නිසා පොඩි දෙයක් අත්හැරල මහ ලොකු සැපයක් බලාපොරොත්තු වෙනව. අනික දිව්‍ය ලෝක කියල කියන්නෙ දුකට අයිති ලෝකෙට අයිති දෙයක්. සාපේක්ෂව සමහර වෙලාවට මනුෂ්‍ය ලෝකෙට වඩා දුක අඩු වෙන්න පුළුවන්. ඒත් ඒකත් අනිත්‍යයි. එතනත් දුක තියෙනව. ඒකත් අනාත්මයි. ඉතින්, ප්‍රාර්ථනා කරනව කියල කියන්නෙ දුකේ ඉඳගෙන දුකම ප්‍රාර්ථනා කරන-එක. ඒ නිසා ප්‍රාර්ථනා නොකළාට කමක් නැහැ. ඒකයි මම කිව්වෙ දන් දෙන්ට ඕන. බෞද්ධයො දන් දීලා ප්‍රාර්ථනා නොකළාට කමක් නැහැ. තමන්ගෙ දුක නැති කරගන්ටනෙ දෙන්නෙ? තණ්හාව නැති කරගන්ට. ආයෙ තව තණ්හාව වඩන්ට ඕන නෑ තව දෙයක් බලාපොරොත්තුවෙන්.

මම ඒකෙන් අදහස් කරන්නෙ නෑ පින් කරන්ට එපා, දන් දෙන්ට එපා කියල. දන් දෙන්ට ඕන. දෙන-එක හරියට දෙන්ට, නිවැරදිව දෙන්ට. ඒකයි, මම මේ පෙන්වා දෙන්ට උත්සාහ කරන්නෙ. එතකොට තමන්ව රවටගන්ට දාන දෙන්ට එපා.

දැන් අපි කෑම ටිකක් ගිහිල්ල දෙන්ට ඕන බඩගින්නෙ ඉන්න කෙනෙකුට. ඇඳුමක් දෙන්ට ඕන ඇඳුම් අවශ්‍ය කෙනෙකුට, ඇඳුම් නැති කෙනෙකුට, තිරිසන් සතෙකුට ඇඳුමක් දීලා වැඩක් නෑ. දුප්පත්, නැති–බැරි ළමයෙකුට පොතක් පෑනක් පැන්සලක් අරන් දෙන-එක, සපත්තු කුට්ටමක් අරන් දෙන-එක, ගවුමක් කමිසයක් කලිසමක් මහල දෙන-එක. ලෙඩෙකුට උපස්ථාන කරන-එක, මහල්ලෙකුට උපස්ථාන කරන-එක. ලෙඩෙකුට බෙහෙත් ටිකක් දෙන-එක. මෙන්න මේවා දාන. එතකොට දුකට පත් වෙච්ච කෙනෙක් ළඟට ගිහින් වචනෙකින් දෙකකින් පුළුවන් එයාගෙ දුක පොඩ්ඩක් සමනය කරන්න. “කලබල වෙන්ට එපා, බය වෙන්ට එපා. අපි ඉන්නවනෙ. අපි ඕන දේකට ඔයා ළඟ ඉන්නව. අපි පිහිට වෙනව” කියා. ඒ වාගේ වචන කීපෙකින් ඔහුගෙ දුක තුනී කරන්ට පුළුවන්; භය නැති කරන්ට පුළුවන්. ඒ කියන්නෙ අභය දානය. ඒ වගේ අපට දෙන්ට පුළුවන් බොහෝ දේවල් තියෙනව නැති-බැරි ළමයෙකුට පාඩමක් කියල දෙන්ට පුළුවන්. ටියුෂන් දෙනව නෙවෙයි. තමන් දන්න ශිල්පයක් ශාස්ත්‍රයක් උගන්වන්ට පුළුවන්. යම් යම් තැන්වලදී කාටහරි අවවාදයක් උපදේශයක් අවශ්‍ය තැනදී දෙන්න පුළුවන්. අපේ දරුවෙක්ද නැද්ද වැඩක් නෑ. අපිට පේනව නම් අපි ඒ දේ කියන්ට පුරුදු වෙන්ට ඕන.

නමුත් ඒ දේවල් නොකර අපි ගිහිල්ල අර මොකක් හරි ප්‍රතිමාවක් ඉදිරියෙ කෑම ටිකක් තියනව බුදු හාමුදුරුවෝ කියල. බුදු හාමුදුරුවො පරිනිබ්බානයට පත් වෙලා. කවුරුත් ඒක දන්නව. ඉතින් ඒක දැන-දැනම අපි ගිහිල්ල මොකද කරන්නෙ? අර ප්‍රතිමාව ඉදිරියෙ කෑම ටිකක් තියල “බුදුන් පිදුව” කියනව.

මේ කාවද රවටන්නෙ? බුදු හාමුදුරුවො රවටන්නද? බුදු හාමුදුරුවො රැවටෙයිද? කොහෙද බුදු හාමුදුරුවො ඉන්නෙ? ඔය පිළිමෙද? ඔය චෛත්‍යයෙද? බෝ ගස්වලද? ත්‍රිපිටකේද? නෑ. ඔය බඹයක් තරම් ශරීරය තුළ. දැන් තමාව රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනව. එළියෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය, බුදුන් වහන්සේ තමා තුළ, තමාගේ හදවත් තුළම ජීවත් වෙනව. හැම පුද්ගලයෙක් තුළම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනව. ඒ රහතන් වහන්සේ මතු කරගැනීමයි අප කළ යුත්තේ. ඒකට කළ යුතු ක්‍රියා මාර්ගය චතුරාර්ය සත්‍ය දේශනාව තුළ තියෙන්නෙ.

අවුරුදු දෙදහස් පන්සිය ගණනකටත් වඩා පැරණි දහමක් මේක. ඉතින් ඒක විවිධ හේතු මත යම් යම් අය, විවිධ අය අතින් අත, කටින් කට ඇවිල්ල විවිධ දේවල් එකතු වෙලා විවිධ ආගම්වල ආභාසය ලබල, විවිධ ඇදහිලි, පුද-පූජා විධි, සිරිත්-විරිත් මේක තුළ තියෙනව.

මම මේ පෙන්වන්ට යන්නෙ මොකක්ද සැබෑ බෞද්ධකම කියන-එකයි. ඉතින්, අපි දන්නව හොඳටම: බුදුන් වහන්සේ එක් අවස්ථාවක ආරාම චාරිකාවෙ යද්දී එක තැනකදී අර කුෂ්ඨ රෝගයක් හැදිල වේදනාවෙන් හිටපු හාමුදුරුවන්ව දැකල (අර සිවුර හිටන් ඇඟට ඇලිල සැරවවලට) ආනන්ද හාමුදුරුවන් එක්ක එකතු වෙලා උන් වහන්සේව නාවල පිරිසිදු කරල සුවපත් කෙරෙව්ව එයාව ඒ අමාරුවෙන්. ඊට පස්සෙ දහම් දෙසුව. ඊට පස්සෙ බුදුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කථා කරල කිව්ව: “ආනන්ද කවුරු හරි කෙනෙක් බුදු හාමුදුරුවො කිව්ව විදියට ගිලනුන්ට උපස්ථාන කළා නම් බුදුන්ට උපස්ථාන කළා වෙනව.” එතකොට බඩගින්නෙ ඉන්න කෙනෙකුට කෑම ටිකක් දුන්න ම බුදුහාමුදුරුවන්ට දුන්න වෙනව. එතකොට නැති-බැරි මිනිහෙකුට අසරණයෙකුට පිහිට වුණාම බුදු හාමුදුරුවන්ට පිහිට වුණා වෙනව. බුදු හාමුදුරුවො නිතර නිතර කිව්ව ආනන්ද හාමුදුරුවන්ට; අනෙකුත් භික්ෂූන්ටත් කිව්ව “මහණෙනි, කවුරු හරි කෙනෙක් මගේ ධර්මය පිළිපදිනව නම් මගේ අනුශාසනාව පිළිපදිනව නම් එයා තමයි මට පිදුව වෙන්නෙ” කියල.

එතකොට අපි දන් දෙන්ට ඕන. මේ පිළිම ගැන අහපු තැන ඉඳල කථා කරගෙන ගියේ අපි පිළිමයට කෑම තියල අපිව රවට්ටගන්නවට වැඩිය හොඳයි, කෑම ටිකක් ගිහින් දෙන්ට බඩගින්නෙ ඉන්න කෙනෙකුට. අන්න බුද්ධ වන්දනාව. බුදුන් පිදුව වෙනව. ඒකයි, කියන්ට ඕන ප්‍රධාන දේ.

ඊළඟට අපි යනව එකපාරටම නිවන් දකින්ට, ලොකු වැඩ කරන්ට. මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාව බොහොම හොඳ දෙයක්. ඒක කළ යුතුයි. ඒක වෙනම කතන්දරයක්. ඒත් අපි කරන මෛත්‍රී භාවනාව මොකක්ද? ඒකත් පොඩ්ඩක් හිතල බලන්ට. දැන් මෙතෙන්ට, අපේ ඉදිරියට එනව අපි හිතමු ආහාර නැතිව බඩගින්නෙ ඉන්න කිසියම් අහිංසක අසරණයෙක්; ඇවිල්ල අපෙන් කෑම ටිකක් ඉල්ලනව. අපි එයාට කෑම ටිකක් දුන්නොත්... බඩගින්න කියන-එක මහ ලොකු දුකක් මනුෂ්‍යයෙකුට තියෙන, ඕනෑම සතෙකුට තියෙන. අපි ඒ පුද්ගලයාට හෝ සතාට ආහාර ටිකක් දුන්න නම් අර බඩගින්න කියන දුක නැති වෙලා යනව. ඒ දුක නිවෙනව. අපි ඒකට එච්චර උනන්දු වෙන්නෙ නෑ.

ඒත් එසේ නොකරන අපි, උදේ සවස සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! කියනව. වෙයිද ඕක කවදාවත්? අපි කිව්වට ඔය සියලු සත්ත්වයෝ නිදුක් වෙයිද? නීරෝගි වෙයිද? සුවපත් වෙයිද? එහෙනම් බුදු හාමුදුරුවොම ඕක කරයිනෙ ඒ කාලෙම. අපි ඔක්කොම සුවපත් කරන්ට තිබ්බනෙ, එදාම. එහෙම වෙන්නෙ නෑ. ඒත් අර බඩගින්නෙ ඉන්න කෙනාට කෑම ටිකක් දුන්නොත් ඒකෙන් ඔහු සුවපත් වෙනව. එතකොට මේ කියන මෛත්‍රියත් ඇත්තටම ආරම්භක වශයෙන් ප්‍රායෝගික ක්‍රියාවලියකුත් මේ දානය තුළම සිද්ධ වෙනව. ඒකයි අප නෙක්ඛම්ම සංකල්පනාත් එක්කම අනිවාර්යයෙන්ම අව්‍යාපාද, අවිහිංසා කියන සංකල්පනාත් බිහි වෙනව කිව්වෙ. හොඳට මතක තියාගන්ට. දැන් මම මේ මෙච්චර ගොඩක් දේවල් කිව්වෙ, අපි ඉන්න මිථ්‍යාවෙන් ගොඩ ඇවිල්ල සැබෑ බෞද්ධයො වෙන්න ඕන නිසයි.

එතකොට අපි මින් ඉදිරියට සම්මා සංකප්ප කියන කොට දැනගන්නට ඕන, මතක තියාගන්ට ඕන, මොනවද සම්මා සංකප්ප කියල. නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා දැන් පැහැදිලි ද ඒ ටික? දැන් ඒවයෙ මොනවත් ගැටලු තැන් තියෙනවද? පරස්පර විරෝධයක් තියෙනවද? දැන් මේක පොඩ්ඩක් මතක තියාගන්ට. අපි මේ දැන් අහන දේත් අපේ සමාජයේ අද පවතින දේත් අතර විශාල පරස්පර විරෝධයක් තියෙනව. ගැටුමක් ඇති කරගන්ටත් එපා. මම කිව්වට මේක පිළිගන්ටත් එපා. තම-තමාටත් මොළයක් බුද්ධියක් තියෙනවනෙ? පොඩ්ඩක් හිතල බලන්ට. බුදු හාමුදුරුවො කියන්නෙ මේ ලෝකෙ පහළ වෙච්ච විශිෂ්ට දාර්ශනිකයා, ප්‍රඥාවන්තයා.

එවැනි උත්තමයෙක් ඔය ආවට ගියාට තේරුමක් නැති, මේ අද අපිට දකින්ට තියෙන මිථ්‍යාවන් දේශනා කරයි කියල හිතන්ට බෑ. ඒකයි මම මේ කියන්ට ගියේ. අපි කරන-කියන දේ අවංකවම බුද්ධිමත්ව හිතා-මතා හරියට කරන්ට ඕන. කිසියම් ප්‍රතිපදාවක් තුළ ඉන්ට ඕන. නිකම් බොරුවට ‘බෞද්ධ’ කියන ලේබල්-එක ගහගෙන, කරන්නන් වාලෙ, අනික් අය දුවන්නන් වාලෙ දුවල නම් හරියන්නෙ නෑ. පැහැදිලියි නේද? මේක තමයි සම්මා දිට්ඨී. ඊළඟට සම්මා සංකප්ප. දැන් මෙන්න මේ කියපු කාමයන්ගෙන් වෙන් වෙන්ට ඕන කියල තීරණය කරගත්තු අව්‍යාපාද, අවිහිංසා දෙක කරුණා, මෛත්‍රී දෙක පෙරදැරි කරගත්ත ශ්‍රාවකයා, බුද්ධ ශ්‍රාවකයා තමයි, ඊළඟ පියවරට යන්නෙ.

මොකක්ද ඊළඟ පියවර? දැන් කියාපුව ප්‍රායෝගිකව පටන්ගන්ට. දැන් දානෙන් තමයි පටන්ගන්නෙ. එතනම තියෙනව අර සංකල්පනා. සම්මා සංකප්ප. එතකොට මේකෙන් තමා පටන් ගන්නෙ. බුදු හාමුදුරුවො හැම වෙලාවෙම දානය තමා මුලට ගත්තෙ. දැන් බලන්ට ඕනෑම එකක් අරන්. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා අරන් බලන්ට. දාන, සීල, භාවනා. දස පාරමිතා අරන් බලන්ට. මුල්ම එක දානය. ඊළඟට දස රාජ ධර්ම අරන් බලන්ට. ඒත් මුලට තියෙන්නෙ දානය. සතර සංග්‍රහ වස්තු අරන් බලන්ට. ඒකෙත් මුලම තියෙන්නෙ දානය. එතරම්ම වටිනව, මේ දානය කියන-එක, දීම කියන-එක. හොඳට මතක තියාගන්ට: මේ දානය කිව්වම මේ කෑම ටිකක් කාට හරි දෙන-එක විතරක් නෙවෙයි. අපිට ඕනම දෙයක් දෙන්ට පුළුවන්. ප්‍රධාන වශයෙන් දාන දෙකක් තියෙනව. ආමිස දානය සහ ධර්ම දානය කියල. අපි පස්සෙ දවසක ධර්ම දානය ගැන මීට වඩා ගැඹුරින් කථා කරමු. දැනට මේ ටික ප්‍රමාණවත්. සියල්ල පටන්ගත්තෙ දානයෙන්. දානය කියන-එකේ පුළුල් අර්ථයක් තියෙනව.

අද බොහෝ දෙනෙක් මේ දානය අත්හැරල සීලයට යන්ට උත්සාහ කරනව. තවත් සමහරු සීලයත් අත්හැරල එක පාරටම භාවනාවට යන්ට හදනව. මෙතන තමයි ඒ අයට වැරදිච්ච තැන. මේකෙ අනුපිළිවෙළක් තියෙනව; අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනව. මේ ප්‍රතිපදාව තුළයි අපි ගමන් කළ යුත්තෙ. එහෙම නැත් නම් අපි නිකම්ම නිකම් වල්මත් වෙච්ච පිරිසක් බවට පත් වෙනව. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන පුද්ගලයො, දුකෙන් මිදෙන්ට යන පුද්ගලයො පළමුවෙන්ම සම්මා දිට්ඨිය ඇති කරගන්ට ඕන. ඊළඟට සම්මා සංකප්ප තියෙන්ට ඕන. මෙන්න මේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප දෙක තිබුණ කෙනා පමණයි ඊළඟ පියවර වශයෙන් ඊළඟ අංගවලට යන්නෙ.

ආර්ය අෂ්ටාංගික මාර්ගයෙ සම්මාවාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන අංග තුන එකටම වගේ ක්‍රියාත්මක කරන්ට ඕන. මොනවද මේවා? මේ තුන තමයි අයිති වෙන්නෙ ශීලයට. එතකොට සීලය කියල කියන්නෙ මොකක්ද? සංවරය. මොකක්ද සංවර කරගන්ට ඕන අපි? කය සහ වචනය කියන දෙක. එතකොට අපි හැම වෙලාවකම මේ රටේ මේ ලෝකේ කාම භෝගී, කාම සංකල්පනා තියෙන අය ඉන්නෙ අසංවරව; කටයුතු කරන්නේ අසංවරව. කාමයන් සන්තර්පණය කරන්න යන කොට අනිවාර්යයෙන්ම අසංවර කටයුතු තමයි කරන්නෙ; කරන්න වෙන්නෙ. ඉතින් මේ අය අසංවරකම් කරනව කයෙන් සහ වචනයෙන්. අපේ කය අසංවර වෙලා තියෙනව කරුණු තුනකින්.

ඒ කියන්නෙ පර පණ නැසීම, ඊළඟට නුදුන් දේ ගැනීම, ඊළඟට පරදාර සේවනය කියන කරුණු තුනෙන්. නුදුන් දේ ගැනීම කිව්වම හොරකම විතරක් නෙවෙයි කොල්ලකෑම, දෙන්නම් කියල අරගෙන නොදී සිටීම, අල්ලස් ගැනීම, එතකොට නීති විරෝධී කොමිස් ගැනීම, රැකියාවට ගිහින් පැය අටක් වැඩ නොකර බොරුවට කාලෙ ගත කරල මාසෙ අන්තිමට පඩිය ගැනීම (මොකද: ඒක සේවා කොන්දේසි කඩ කිරීමක් නෙ. සේවකයා සහ සේව්‍යයා අතර ගිවිසුමක් තියෙනව: දවසකට මෙච්චර පැය ගණනක් මෙච්චර දවස් ගණනක් මාසෙට වැඩ කළාම මේ වැටුප දෙනව කියල ඇති කරගත්ත ගිවිසුම.

ඒ ගිවිසුම කඩ කිරීම තුළ තමන්ට හිමි නැති වැටුපක් ගන්නෙ). දැන් මේවා අපේ රටේ මුල් බැහැගෙන තියෙන දේවල් මේ සමාජය තුළ. සමහර වෙලාවට මේ රටේ ජනතාව මේවා අකුසල් බව නොදැන, මේවා බෞද්ධ ප්‍රතිපදාව නොවෙයි කියල නොදැන, මේවා බෞද්ධයන්ට සුදුසු නැති දේවල් කියල නොදැනයි මේ දේවල් කළේ. දැන් මම මේවා වැඩියෙන්ම අවධානයට ලක් කරල පෙන්වා දෙන්ට උත්සාහ කරන්නෙ මින් ඉදිරියට මේ අය නිවැරදි වෙයි කියල. දැන් හුඟක් අය අල්ලස් ගැනීම, කොමිස් ගැනීම, ඔය දවස ගත කරල බොරුවට කාලෙ කාලා වැටුප ගැනීම එහෙම හොරකම් කියල දන්නෙ නෑ. හැබැයි මතක තියාගන්ට, මේවා නොදැන කළත් දැනගෙන කළත් ප්‍රතිඵලය නම්, ආනිසංසය නම් වරදින්නෙ නෑ. එතකොට මේ අසංවරකම, නුදුන් දේ ගැනීම, ඊළඟට කාම මිථ්‍යාචාරය නැත් නම් පරදාර සේවනය යන මෙන්න මේ කරුණු තුන නිසා කය අසංවරය.

ඊළඟට වචනය අසංවර වෙලා තියෙනව කරුණු හතරක් නිසා. මොනවද ඒ කරුණු? බොරු කීම, කේළාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම. බොරු කියනව. යමක් කරල කළේ නැහැයි කියනව. නොකළ දෙයක් කළාය කියනව. ඒක බොරුව. ඊළඟට කේළාම් කියනව. කේළම මහා භයානක දෙයක් බොරුව වගේම. මේ සමාජේ ගිනි ගන්නෙම කේළමින්. එක්කෙනාට එක්කෙනා කේළාම් කියනව යම් යම් ලාභ සත්කාර බලාගෙන. ඒ හින්ද ඒකෙන් පුදුමාකාර විනාශයක් මේ රටේ සිද්ධ වෙනව. මේක මහා අසංවරකමක්; මහා පාපයක්; අකුසලයක්. ඊළඟට පරුෂ වචනය. අන් අයගෙ සිතේ නිසංසල බව, සන්සුන් බව නැති කරන්ට කරන සැම කටයුත්තක්ම පරුෂ වචනය. සාමාන්‍යයෙන් මිනිස්සු කියන අසභ්‍ය වචනත් ඇතුළුව ඊට අමතරවත් අසභ්‍ය නොවන විධියටත් පරුෂ වචන කියන්ට පුළුවන්. බොහොම සුන්දර වචන පාවිච්චි කරල පරුෂ වචන කියන්ට පුළුවන්. ඔය කර්යාලවල එහෙම ඕන තරම් වෙනව ඉඟියෙන් හැසිරීමෙන් පවා. නේද? කථා කරන වචනයකින් පවා දෙපැත්ත කැපෙන තේරුම් දෙකක් තියෙන වචන පාවිච්චි කරනව. මේ ඔක්කොම වැටෙන්නෙ පරුෂ වචනවලට. ඊළඟට අපි කරන අනිත් අසංවරකම තමයි ඕපාදූප. වැඩි හරියක් කථා කරන්නෙ ඕපාදූප. විශාල වශයෙන් කාලය කාදමනව. විශාල හානියක් සමාජයට කරගන්නව.

එතනදි මෙන්න මේ හතර තමා වචනයෙන් වන අකුසල්, එතකොට දැන් බුදුන් වහන්සේ සම්මා වාචා කියල කිව්වෙ මොකක්ද? මෙන්න මේ කියපු වචනයෙන් වන අකුසල් හතරෙන් වැළකීම තමයි සම්මා වාචා. මම ඇහුවෙ නෑ මේ අයගෙන් මොකක්ද සම්මා වාචා කියලා. ලැබෙන්ට තියෙන පිළිතුර මම දන්නව. නිවැරදි වචනය කියයි. ඒක හරි යන්නෙ නෑ. නිවැරදි වචනය වෙන්නෙ කොහොමද? අර කියන වචනයෙන් කරන අකුසල් හතරෙන් වැළකුණා නම් ඔහුගෙ වචනය සංවරයි. බොරු කීම, කේළාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම කියන ඔය කියන හතරෙන් වැළකුණා නම් ඒ හතරින් තොර වුණා නම් ඉතිරි කථා කරන සියලු වචන සම්මා වාචා. ඒවා සියල්ල නිවැරදි වචන. හැබැයි මේවා සියල්ලෙන් වැළකුණාට පස්සෙ කථා කරන්ට දේවල් නැතිව යනව. අපි පුළුවන් තරම් අවශ්‍ය දේ පමණයි කථා කරන්ට ඕන. මේ බෞද්ධයයි කියන කෙනා නිකම් ආවාට-ගියාට වචන පාවිච්චි කරන්නෙ නෑ. කථා කරනව නම් ධාර්මික වචනයක්, හොඳ වචනයක්, ශීලාචාර වචනයක්. එහෙම නැත් නම් මොකද කරන්නෙ? කථා කරන්ට දෙයක් නැත් නම් මොකද කරන්නෙ? නිහඬව ඉන්නව. නිකම්ම නිහඬව නොවෙයි. බුදු හාමුදුරුවන්ගෙ දේශනාවෙ වචනයක් පාවිච්චි කරනව ‘ආර්ය තූෂ්ණීම්භාවය’ කියල. දැන් නිහඬව ඉන්නවනෙ තිරිසන් සත්තුත්. ගොළුවොත් නිහඬයි. කථා කරන්ට බැරි හින්ද. ඒක බුදු හාමුදුරුවො කියපු නිහඬතාවද? ආර්ය තූෂ්ණීම්භාවයද? නෑ. ආර්ය තූෂ්ණීම්භාවය කියල කියන්නෙ සිහියෙන්, අවදියෙන් ඉන්නව, වැරදි වචන පාවිච්චි නොකර. එතකොට කථා කරනව නම් හොඳ වචනයක්. නැත් නම් ආර්ය තූෂ්ණීම්භාවයෙන් ඉන්නෙ. නිකම්ම නිහඬ භාවයෙන් නොවෙයි. බුදුවරු, රහතන් වහන්සේලා නිහඬව ඉන්නෙ නිකම්ම නොවෙයි. ඒ ගොල්ලන්ගෙ ගුණයහපත්කම. සිහියෙන් ඉන්නෙ. එළඹ සිටි සිහියෙ, වර්තමානයෙ. හරි, එතකොට මෙන්න මේ විදියට ඒ අකුසල් හතරෙන්, වචනයෙන් කරන අකුසල් හතරෙන් වැළකුණා නම් අන්න ඒක සම්මා වාචා.

සම්මා කම්මන්ත කියල කිව්වෙ. මම අර ඉස්සෙල්ල කියපු කය පාවිච්චි කරල, ශරීරය පාවිච්චි කරල කරන අකුසල කර්ම තුන ප්‍රාණඝාතය, අදත්තාදානය සහ කාම මිථ්‍යාචාරය. ඔය තුනෙන් වැළකුණා නම් කය සංවරයි.

ඊළඟට අපි තව එක අකුසලයක් කරනව. බුදු රජාණන් වහන්සේ ඒක අපට කරන්ට එපා කියල කිව්ව, ඒක මොකක්ද? මිථ්‍යා ආජීවය. සම්මා ආජීව කියල කියන්නෙ මිථ්‍යා ආජීවයෙන් වැළකීම. එතකොට මිථ්‍යා ආජීවය කියල කීවෙ මොකක්ද? සරලව ගත්තොත් කියන්ට තියෙන්නෙ මිනිස්සු ජීවත් වීම සඳහා සටකපටකම් කපටිකම් කරනව. අන්න ඒවායින් වළකින්න ඕන. බොහොම ධාර්මිකව කපටිකමින් තොරව, අවංක ඍජු ජීවන ප්‍රතිපදාවක් ගෙනියන්ට ඕන. අන්න එතකොට ඒ පුද්ගලයා තමයි සිල්වතා කියන්නෙ. පැහැදිලිද? දැන් මෙතන පටලවගන්ට එපා. අපිට අහන්ට ලැබෙනව බෞද්ධයො නම් පන්සිල් රකින්ට ඕන. පන්සිල් රකින්නෙ කොහොමද? කථා දෙකක් නෑ. ලොකු දෙයක්. ලොකු සීලයක් බැරි නම් ඒක හරි රකින-එක ලොකු දෙයක්, කතාව ඇත්ත. එහෙත් බුදුවරු පහළ වෙන්නෙ පන්සිල් ගැන කියන්ට නම් නෙවෙයි. බුදුන් වහන්සේගෙ ධර්මය අබිබවා යන්ට අපට පුළුවන්කමක් නෑ. පඤ්ච සීලය කියන-එක බුදුවරු නැති කාලවලත් ලෝකෙ තිබුණා. ඊට වඩා ලොකු සිලුත් තිබුණා. සිද්ධාර්ථ කුමාරයා මව් කුසේ පිළිසිඳගන්න කොට මහාමායා දේවිය උපෝසථ සීලය සමාදන් වෙලා හිටිය කියල අපි අහල තියෙනව. මහාමායා දේවිය පෙහෙවස් සමාදන් වෙලා හිටියෙ. එතකොට තමයි සිද්ධාර්ථ කුමාරයා මව්කුස පිළිසිඳගත්තෙ කියල කියනව. පෙහෙවස් සමාදන් වෙනව කියල කියන්නෙ, උපෝසථ සීලය කියල කියන්නෙ පඤ්ච සීලයට වඩා ඉහළ සීලයක්. ඉතින් එවැනි සිලුත් තිබුණ සමාජයක තමයි බුදුවරු පහළ වෙන්නෙ.

එතකොට සීලයෙන් තොර සමාධියක් නැහැ. සිද්ධාර්ථ කුමාරයා රජගෙයින් නික්මිලා පිට වෙලා ගියේ ධර්මය හොයාගෙන, ඔය ආලාරකාලාම, උද්දකාරාම වැනි තවුසන් ළඟට. ඒ තවුසන් පොඩි පහේ අය නොවෙයි. නේවසඤ්ඤානාසඤ්ඤා වැනි අෂ්ට සමාපත්ති, ඉහළම ධ්‍යාන දක්වා සිත දියුණු කරපු අය. ඉතින් එවැනි ධ්‍යාන ලබන්ට නිකම් බෑ. ඉහළ සීලයක්, කය, වචන දෙක සංවර කරගැනීමක් තියෙන්ට ඕන. එහෙම නම් බුදුවරු පහළ වෙන කොට මේ සිල් තිබුණා. පඤ්ච සීලය හැමදාම ලෝකෙ තිබුණා. අනෙකුත් ආගම්වලත් මේවා තියෙනවා. ඒක නිසා කවුරු හරි කියනව නම් පන්සිල් දේශනා කරන්ට බුදුහාමුදුරුවො පහළ වුණේ කියල - ඒක අර්ථශූන්‍ය කථාවක්.

නමස්කාර සඟරාව ඇසුරෙනි
www.namaskara.lk - 2014 දෙසැම්බර්




2015 ජනවාරි මස නමස්කාර සඟරාවේ පලවූ ලිපියකි.

දුක නිවන දහම

සම්මා ආජීවය ගැන නිවැරදි අර්ථකථනයක් සැපයීමට ගත් ප්‍රයත්නයකි. ධම්මචක්කප්පවත්තන සූත්‍රය ඇසුරෙන් ලියැවෙන ලිපි පෙළක පස් වැන්නයි.

අපි දස අකුසල් තියෙනව කියල අහල තියෙනව. කයෙන් කරන අකුසල්: තුනක් ඔය ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිථ්‍යාචාරය. වචනයෙන් කරන අකුසල් බොරු කීම, කේළාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම කරුණු හතරයි. ඊට පස්සෙ සිතින් කරන තව අකුසල් තුනක් තියෙනව: දැඩි ලෝභය, ද්වේෂය සහ මිථ්‍යා දෘෂ්ටිය. ඔය දහය තමයි දස අකුසල් කියල කිව්වෙ.

දැන් ඔය දහය තුළ සුරාපානය එහෙම නෑ. එතකොට අපි දැන් කිව්වෙ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන තැනත් සුරාපානය ඇතුළත් වෙලා නෑ. දැන් එතකොට පඤ්ච සීලය අරගෙන බැලුවොත් කයෙන් කරන අකුසල් තුන එතන තියෙනව. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිථ්‍යාචාරය. වචනයෙන් කරන අකුසල් හතරෙන් තියෙන්නෙ මොකක්ද? බොරු කීම විතරයි. එතකොට කේළාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම හොඳයි කියලද ඒ කියන්නෙ? ඒ තුන අයින් කරල, ඒ වෙනුවට කොහෙන්ද ගෙනල්ල රිංගවල තියෙනව සුරාපානය. මේකෙන් අදහස් වෙන්නේ මම මේක නරකයි කියනව හෙම නෙවෙයි. මේකෙන් අදහස් වෙන්නෙ බුදුවරු පහළ වෙන්නෙ මෙන්න මේ වගෙ අවුල් ජාලයක් තියෙන සමාජයක් පවතින කාලෙක. සත්‍ය දන්නෙ නෑ. සීලය මොකක්ද කියල හරියට දන්නෙ නෑ. සමාධිය දන්නෙ නෑ. ප්‍රඥාව දන්නෙ නෑ. අවුල් ජාලයක පැටලිලා. මේ ලෝකය තුළ අතරමං වෙලා ඉන්න යුගයක තමයි බුදුවරු පහළ වෙන්නෙ. බුදුවරු කරන්නෙ මොකක්ද? ඒක නිවැරදි කරන-එක.

පඤ්ච සීලය නෙවෙයි ඊට එහා සීලයක් මේකෙ තියෙනව. මොකද සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන තැන සිල්පද, ශික්ෂාපද අටක් තියෙනවා. ඕකට තව ඕන නම් සුරාපානය දාල නවයක් කරන්ට තිබ්බ. නවයක් කළේ නැත්තෙ ඇයි? හේතුවක් තියෙනව. මම මේකෙන් කියන්ට යන්නෙ සුරාපානය සාධාරණීකරණය කරන-එක නෙවෙයි. සුරාපානය ඊට වඩා වෙනස් දෙයක්. දැන් සිගාල ගෘහපති පුත්‍රයාට දේශනා කරපු දේශනාවෙ බුදුහාමුදුරුවො ඒ තරුණයට මොකක් ද කීවේ? සතර කර්ම ක්ලේශ කියල ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිථ්‍යාචාරය, පරුෂ වනයෙන් වැළකෙන්ට කීව. එහෙත් එතෙන්දිත් සුරාපානය ගත්තෙ නෑ. මේ වෙනකොට සමාජයේ තිබුණ පහම. ඒත් ඒකෙන් සුරාපානය ඉවත් කළා.

බුදුහාමුදුරුවො සුරාපානය ගත්තෙ වෙනත් තැනකට. තව කරුණු හයක් කිව්වා. ඒවා ධන හානි වන දොරටු වශයෙන් සුරාපානය, සූදුව, අලසකම, අවේලාවේ වීථි සංචාරය, නැටුම් ගැයුම් බැලීම සහ පාපමිත්‍ර සේවනය කියන මෙන්න මේ හය ගත්ත. එතකොට ඒකටත් හේතුවක් තියෙනව. සුරාපානයෙ අනිවාර්ය ආදීනව හයක් බුදුහාමුදුරුවො සිගාලෝවාද සූත්‍රයේ දේශනා කළා.

සුරාපානය කරන කෙනෙක්ගෙන් වන වැරදි මොනවද? සිදු වන පළමුවැනි වරද තමයි: අනිවාර්යයෙන්ම ධනය හානි වෙනව. දෙක: ඔහුට නඩුහබ කලකෝලාහල ඇති වෙනවා. තුන: රෝගි වෙනව. හතර: ඔහුට අකුසල් කිරීම

සඳහා තියෙන ලජ්ජා-බය දෙක නැති වෙනව. ඊට අමතරව පස්වැනි-එක: ඔවුන් කෙරෙහි සමාජයේ තියෙන පිළිගැනීම නැතිව යනව; නරක පුද්ගලයෙක් හැටියට හංවඩු ගැහෙනව. හයවැනි කාරණය: සුරාපානය කරන කෙනා අනිවාර්යයෙන්ම ප්‍රමාදී පුද්ගලයෙක්. මොකද: සුරාපානය ප්‍රමාදයට හේතු වෙනව. මෙන්න මේ කරුණු හය තමයි ආදීනව වශයෙන් බුදුහාමුදුරුවො දේශනා කළේ. ඒ හින්ද එතන කොයි වෙලාවක වත් කිව්වෙ නෑ සුරාපානය කරන කෙනා නිරයට එහෙම යනව කියල. ඒක හින්ද වැඩිවැඩියෙන් අරක්කු බොන්ට ලෑස්ති වෙන්ට එහෙම එපා. ඇයි: නිරයට යන්නෙ නෑයි කියල. මොකද: අරක්කු බොන මිනිහට අර කියපු අපායට යන ඒවා එකක් නෙවෙයි, ඔක්කොම වුණත් කරන්ට පුළුවන්. තියෙන සිහියත් නැති වුණාට පස්සෙ අවසිහියෙන් කරන්ට බැරි දෙයක් නැහැනෙ? ඕන අපරාධයක් කරන්ට පුළුවන් මත්වතුර බිව්වට පස්සෙ.

එතකොට අපි සීලය කියල කියන්නෙ, කය, වචන දෙක සංවර කරගැනීම. කයින් වෙන අකුසල් තුනයි. වචනයෙන් වෙන අකුසල් හතරයි. මිථ්‍යා ආජීවයෙන් වැළකීමයි කියන ඔය අංග අටෙන්ම රැකෙන කෙනා, ඉන් වැළකීම ක්‍රියාත්මක කරන කෙනා තමයි බෞද්ධයා කියල කියන්නෙ.

දැන් “මිථ්‍යා ආජීව කිව්වහම නොයෙකුත් පුද-පූජා සහ විශ්වාස ඇදහිලිත් ඒකට වැටෙනවද?” කියන ගැටලුව පැනනැගෙනවා.

නෑ. එතෙන්දි මේකට මිථ්‍යා ඇදහිලි ඇතුළත් වෙන්නෙ නෑ. මෙතැන දැන් ගස්-ගල් වැන්ද කියල වෙන පාඩුවක් නෑ. ඉතින් ලැබෙන දේකුත් නෑ. කැමැති නම් කරන්ට පුළුවනි. එහෙත් ඒක නොවෙයි මෙතන තියෙන්නෙ. දැන් හුඟාක් මිනිස්සු ජීවත් වෙන්ට නොයෙකුත් කපටිකම් කරනව නේද? අපි අහල තියෙනව නොකළ යුතු කර්මාන්ත එහෙම ගැන. මත් ද්‍රව්‍ය වෙළෙඳාම, මස් වෙළෙඳම, සතුන් වෙළෙඳාම වාගේ දේවල්. විෂ ද්‍රව්‍ය විකිණීම, කාන්තාවන් විකිණීම, ගිනි අවි අලෙවිය කියල එහෙම කියනව.

කොහොම නමුත් වඩාත් සරලව ගත්තොත් හෙම සච්ච විභංග සූත්‍රය, සතිපට්ඨාන සූත්‍රය හෙම පැහැදිලිවම කියන්නෙ මිථ්‍යා ආජීවයෙන් වැළකීම සම්මා ආජීව කියල. අපට ගන්ට වෙන්නෙ ජීවත් වීම සඳහා මිනිස්සු කරන ඔය ‘සම්‍යක් ප්‍රයෝග’ කියල එහෙම පාවිච්චි කරනව. සම්‍යක්ද නැද්ද කියල මම දන්නෙ නෑ. ප්‍රයෝග: ඒ කියන්නෙ කපටිකම්, සියලු කපටිකම්, ජීවත් වීම සඳහා කරන දේවල්. තමන්ගෙ වාසියට කටයුතු කරනව. ඉතින් මම හිතන්නෙ මේක තමයි බුදුන් වහන්සේ අදහස් කළේ මිථ්‍යා ආජීව කියල. ජීවත් වීම සඳහා කරන සියලු කපටිකම්. මොකද: ඒ තුළ තව කෙනකුට හානියක් වෙනව නේ? එතකොට ඒක හොඳ දෙයක් වෙන්න බෑ.

දැන් හුඟාක් කෑගහන්නෙ අපේ සමාජය අශීලාචාරයි කියල, පන්සිල් රකින්නෙ නෑ සිල්වත් වෙන්නෙ නැහැයි කියල. ඇයි මේ මිනිස්සු සිල්වත් නැත්තෙ? අපට දැන් උත්තර ටික තියෙනව ලස්සනට. කණ්ණාඩිය වගේ ගන්ට පුළුවන් ආපස්සට. අපි ඉතිරි අග ටික ආපස්සට ගියා නම්. සීලය. සිල්වත් වෙන්ට නම් අපට මොනවද ඉස්සෙල්ලම තියෙන්ට ඕන? සීලයට යන්ට ඉස්සෙල්ල අපට තියෙන්ට ඕන අනිවාර්යයෙන්ම සම්මා සංකප්ප.

සම්මා සංකප්ප කියල කිව්වෙ නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, මේ කියන සංකප්ප ඇති කරගත්තු කෙනෙක් විතරයි සීලයට යන්නෙ. එතකොට මේ සංකල්පනා නිකම් ඇති වෙන්න බෑ නෙ? දුක, දුකට හේතුව, දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගය කියන අංග හතරෙන් යුක්ත චතුරාර්ය සත්‍ය අවබෝධය - දැනුම නැති නිසා සම්මා දිට්ඨිය නැති හින්ද සම්මා සංකප්ප නෑ. මේ සම්මා සංකප්ප නැති තැන තියෙයිද සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන සීලය?

සීලය නෑ. ඒක තමයි, මම මේ මෙච්චර ගොඩක් වීරිය කරන්නෙ හැම වෙලාවෙම. මොකද මේ මිනිස්සු සිල්වත් නැත්තෙ? ඕන කරන මූලික පදනම නැහැ. මොකක්ද බෞද්ධයාගෙ, බුද්ධ ශ්‍රාවකයාගෙ පදනම? ගමන ආරම්භ වෙනනෙ කොතැනින්ද? මාර්ගය පෙරටු කොට ගමන් කරන්නෙ කවුද? මුල්ම මොකක්ද? සම්මා දිට්ඨිය. මේ රටේ මිනිස්සුන්ට සම්මා දිට්ඨිය නැහැ. සම්මා දිට්ඨිය තියෙන්ටම ඕන. එතකොට සම්මා දිට්ඨිය නැත්තෙ ඇයි? සම්මා දිට්ඨිය ඇති වෙන්ට මොනවද ඕන සාධක? කොහොමද සම්මා දිට්ඨිය ඇතිවෙන්නෙ? සම්මා දිට්ඨිය ඇති වෙන්ට නම් සද්ධර්මය ශ්‍රවණය කරන්ට ඕන. ඉතින් සද්ධර්ම ශ්‍රවණය නෑ. ඇයි සද්ධර්මය ශ්‍රවණය කරන්නෙ නැත්තෙ? සද්ධර්මය ශ්‍රවණය කරන්ට දේශනා කරන්ට එපායැ? දේශනාව නෑ. සද්ධර්මය නොවෙයිනෙ දේශනා කරන්නෙ. අද අපි බලන් හිටියොත් හුඟක් අපට අහන්ට ලැබෙන්නෙ සද්ධර්මයද? සද්ධර්මය කිය-කියා මොනවද අද දේශනා වෙන්නෙ? අසද්ධර්මයම නෙ දේශනා වෙන්නෙ. සමහර අයට රිදෙයි මෙහෙම කියනකොට. මට කරන්ට දෙයක් නෑ. මේ අපේ අත්දැකීම්. කරන්ට දෙයක් නෑ.

ගොඩාක්ම අපි පුංචි කාලෙ ධර්ම පොතපත කියෙව්ව; ඉගෙනගත්තා; දහම් ඇහුව. නිරවුල්ව අපට මේක ලැබුණ නම්, අපි කියන්නෙ නෑ නෙ සම්මා දිට්ඨිය කියන්නෙ නිවැරදි දැකීම කියල? දේශනාව තුළ පැහැදිලියි. මේවා සඳහන් වෙනව සූත්‍ර පිටකයෙ. එතකොට අපට සද්ධර්මය අහන්ට ලැබුණෙ නැති හින්ද අපට සම්මා දිට්ඨිය නෑ. සද්ධර්මය අහන්ට ලැබුණත් අපට සම්මා දිට්ඨිය පහළ වෙන්නෙ නෑ. මොකද: සද්ධර්ම ශ්‍රවණය විතරක් නොවෙයි සම්මා දිට්ඨිය ඇති වීමේ ප්‍රධාන සාධකය වෙන්නෙ. තවත් සාධක තියෙනව. සම්මා දිට්ඨිය ඇති වෙන්ට ඕන කරන සාධක දෙකක් තියෙනවා. එකක්: සද්ධර්ම ශ්‍රවණය. අනිත් එක මොකක්ද? නුවණින් මෙනෙහි කිරීම: යෝනිසෝ මනසිකාරය. නුවණින් කල්පනා කරන්ට ඕන.

මෙහෙම එකක් ඇහුවටම බෑ. මේ චතුරාර්ය සත්‍යය ඇහුව පළියට සම්මා දිට්ඨිය ඇති වෙන්නෙ නෑ. ඔහු ඒක හොඳට සවන් දීල නුවණින් කල්පනා කරන්ට ඕන: මේ කියන්නෙ ඇත්ත නේද? මේකෙන් තමයි නේද අපි මිදෙන්ට ඕන. මේක නේද දුක? මේ අපට වැරදිලා නේද? වැරදි ගමනක් නේද ගියේ? මිථ්‍යාවක නේද හිටියෙ? කියල ඒ සංකල්පය ඇති කරගෙන, ඒ සත්‍යය අවබෝධ කරගෙන, නුවණින් කල්පනා කරල අන්න ඒ සම්මා දිට්ඨිය ඇති කරගත් කෙනා තමයි සම්මා සංකප්පවලට යන්නෙ. ඉතින් ඒක නිසා මතක තියාගන්ට ඕන මේ රටේ හැමෝටම සම්මා දිට්ඨිය නෑ. සද්ධර්මය අහපු නැති-එක වෙනම කතන්දරයක්. සද්ධර්මය ඇහුව වුණත් හැම දෙනාට සම්මා දිට්ඨිය ඇති වෙන්නෙ නෑ. මොකද ඒ? සම්මා දිට්ඨිය ඇති වෙන්ට ඕන කරන අනිකුත් සාධක තමා ළඟ තියෙන්ට ඕන. සද්ධර්ම ශ්‍රවණය වගේම ඇති වෙන්ට ඕන. තමා තුළ තියෙන්ට ඕන නුවණින් කලපනා කරල බැලීම. අන්න ඒ නිසා තමයි බුදු හාමුදුරුවො දේශනා කළේ මේ ධර්මය ඥානවන්තයින්ටයි කියල.

ආරම්භක වශයෙන්ම හැමෝටම සද්ධර්මය අහල සම්මා දිට්ඨිය පහළ වෙන්නෙ නැහැ. බුදු හාමුදුරුවො ඉන්න කාලෙ හැමතැනම දහම් දෙසව කියල හැමෝම බෞද්ධයො වුණෙත් නෑ. හැමෝම නිවන් දැක්කෙත් නෑ. හැම කෙනෙක්ම සැබෑ මඟට, දහම් මඟට පිළිපන්නෙත් නෑ. ඒක හින්ද බුදු හාමුදුරුවො හැමෝටම බණ කියන්ටත් ගියේ නෑ. බුදුන් වහන්සේ උදේම නැගිටලා බලනව, මහා කරුණා සමාපත්තියට සම වැදිලා, මම අද කාටද දහම් දෙසන්නෙ කියල. ඒ ඇයි? මේ දහම තේරුම්ගන්ට තරමට යම්කිසි නුවණක් තියෙන්ට ඕන. අන්න ඒ නුවණැත්තන්ටයි මේ දහම. ඒක නිසා ඒ නුවණ තියෙන කෙනා සොයාගෙන ගිහින් දහම් දෙසුව. අන්න එයාට විතරයි සම්මා දිට්ඨිය පහළ කරගන්ට පුළුවන් වෙන්නේ, සදහම් දෙසුවාම, ධර්මය දෙසුවාම.

එතකොට දැන් මතක තියාගන්ට මේ රටේ සියයට හැත්තෑවක් බෞද්ධයො කිව්වට, මේ රටේ බෞද්ධයො නෙවෙයි ඉන්නෙ. බෞද්ධයො හිටිය නම් මේ විනාශයන් වෙන්ට බෑ. මට දැනට අවුරුදු එක හමාරකට විතර ඉස්සර දානෙ ඔතාගෙන ආපු පත්තර කෑල්ලක් කියවන්ට ලැබුණා. මට පත්තර කියවන්ට ලැබෙන්නෙ නෑ කැලේ ඉන්න නිසා. ඒක නිකම් දැකල කියවාගෙන යනකොට අර දැක්කට කියවපුවහම මට දැකගන්ට ලැබුණ මේ රටේ සංඛ්‍යා ලේඛන වගයක් ඒ පත්තර පිටුවේ. දිනකට: ඔය කියන්නෙ උතුරු නැගෙනහිර යුද්ධයක් තියෙන-එක හැර, අනෙකුත් පළාත්වල සිදු වන අපරාධ ගැනයි සඳහන් වුණේ. ඒකෙ තියෙනව පැය හයකට වරක් මිනීමැරුමක් කෙරෙනව: මනුෂ්‍ය ඝාතනයක්. ඒ කියන්නෙ දවසකට හතරක් අනිවාර්යයෙන්ම, එතකොට පැය හයකට සැරයක් ස්ත්‍රී දූෂණයක් සිද්ධ වෙනවා. සමහර විට ඔක්කොම වාර්තා වෙන්නෙ නෑ. ඒකෙ කියනව: පැය හයකට සැරයක් මහා මංකොල්ලයක් සිද්ධ වෙනව. ඊළඟට කියනව: සෑම විනාඩි තිස්පහකට වරක් ලංකාවේ කොතැනක හෝ අපරාධයක් සිද්ධ වෙනව. මේ උතුරු නැගෙනහිර හැර. ඉතින් මේ අපරාධ සිද්ධ වෙයිද මේ රටේ ඉන්න සියයට හැත්තෑවක් බෞද්ධ නම්? මේ යුද්ධයක් තියෙයිද උතුරේ? ඒවත් අපි කථා කරන්ට ඕන.

මේ සද්ධර්මයෙන් පිට පැනීමේ සාධක. අපි පැරණි ශ්‍රී විභූතිය ගැන, අපේ බෞද්ධ සමාජය ගැන සංස්කෘතිය ගැන කතා කරනව. එදා මේවා නොතිබෙන්ට හේතුවත්, අද මේවා තියෙන්ට හේතුවත් ඇයි? හේතු තියෙනව. මෙන්න මේක තමයි සාධකය. බෞද්ධ නම් සීලය තියෙන්ට ඕන. සිල්වත් නෑ. සිල්වත් වෙන්ට සම්මා සංකප්ප කියන ඒ සංකල්පනා තියෙන්ට ඕන. ඒ සංකල්පනා ඇති වෙන්ට නම් සම්මා දිට්ඨිය තියෙන්ට ඕන. සම්මා දිට්ඨිය ඇති වෙන්ට නම් සද්ධර්මය ශ්‍රවණය කරන්ට ඕනෑ; යෝනිසෝ මනසිකාරය තියෙන්ට ඕන. ඉතින් මේ සාධක නැති නිසා සම්මා දිට්ඨිය නෑ. සද්ධර්ම ශ්‍රවණය නැති නිසා, නුවණින් මෙනෙහි කිරීම නැති නිසා සම්මා දිට්ඨිය නෑ. ඒ නිසා සම්මා සංකප්ප නෑ. ඒ නිසා සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන සීලය නෑ. ඉතින් මේක රටේ ඔක්කෝටම දෙන්ටත් බෑ. අපි නිකං අඬල හරියන්නෙ නෑ. ‘මේ රටේ අනේ හරි අසාධාරණයි’ කිය-කියා. අනික් අය සිල්වත් කරන්ට වීරිය කරන්ටත් එපා කවුරුවත්. ඒකත් මතක තියාගන්ට: මම මේ දහම දෙසන්නෙ අනුන්ව නිවැරදි කරන්ට නෙවෙයි; තමන් නිවැරදි වෙන්ට. මේ අහගෙන ඉන්න අයට මම කියන්නෙ මොකක්ද? අනුන්ට ඇඟිල්ල දික් කරන්ට යන්ට එපා. තමා දෙස බලන්ට. මේ කථා කරන සෑම දෙයක්ම කියන කොට තමා දෙස බලන්ට පුරුදු වෙන්ට. මගේ තුළ මේව තියෙනවද? බලන්ට. නැත් නම් තමා හැදෙන්ට. පැහැදිලිද කියපු දේ?

දැන් මගෙන් හුඟක් බණ අහන අය කියන දෙයක් තමයි ‘අනේ හාමුදුරුවනේ, අපි ඕව කිව්වට කවුද අහන්නෙ? මේ රට සිල්වත් වෙයිද? කියල අහනව. මම මේ මෙච්චර මැෂිමක් වගේ කියාගෙන කියාගෙන යන්නෙ මේ ලෝකෙම සිල්වත් කරන්ට නෙවෙයි. මේ අහගෙන ඉන්න අය සිල්වත් වෙන්ට. මේ ලංකාවෙ ඉන්න එක්කෝටි අනූපන් ලක්ෂයම දුස්සීල වුණාට කමක් නෑ. තමන් ඔය අධිෂ්ඨානය ඇති කරගෙන සිල්වත් වුණොත්, මේ රටෙන් එක් කෙනෙක් සිල්වත් නේ? ඒක හිතා ගන්ට. අනික: අනික් අයගෙ සීලය අපට බලපාන්නෙ නෑ නෙ? අපිට බලපාන්නෙ අපේ සීලය. අපිට වැදගත් අපේ සමාධිය, අපේ ප්‍රඥාව. අනුන්ගෙ සීලය වත් අනුන්ගේ සමාධිය වත් අනුන්ගෙ ප්‍රඥාව වත් අපිට වැඩක් වෙන්නෙ නෑ. තමන් කරගන්න දේයි තමන්ට තියෙන්නෙ. ඒක නිසා ඒක මතක තියාගෙන තමන් සිල්වත් වෙන්ට. තමන් සම්මා දිට්ඨිය ඇති කරගන්ට. ඔය කියන අංග ටික ඇති කරගෙන සැබෑ බෞද්ධයන් වෙන්ට වීරිය කරන්ට. පැහැදිලිද කියපු දේ? දැන් අපි මේකෙන් පිට පැනල තමයි හැමදේම කරන්ට යන්නෙ. අපේ ළඟ මොකුත් නැතිව අපි ලෝකෙට කියන්ට යනව. ඔක්කොටම අනුන්ට කියනව. බණ දෙසන්ට නම් හරි දක්ෂයි මේ රටේ මිනිස්සු; පිළිපදින්ට බෑ. ඒකයි මේ ඔක්කෝටම මුල. දැන් තේරෙනවද කියපු දේ?

ඔය ටික කරගත්ත කෙනා තමයි ඊළඟ පියවර වශයෙන් සමාධි ස්කන්ධයට යන්නෙ. සමාධි කියන කොටසට, සම්මා පැහැදිලිද දැන් එතකොට? එතනත් බුදු හාමුදුරුවො දේශනා කළා ඉතා පැහැදිලිවම මොනවද මේව කියල. සීලයෙ පිහිටිය, සීලය පිහිටපු කෙනා තමයි සමාධියට යන්නෙ. සීලයෙන් තොර සමාධියක් නෑ. මේ සීලය අත්‍යවශ්‍යයි. මෙන්න මේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන සිල් රකින්නෙ නැති කෙනා බෞද්ධයෙක් නෙවෙයි. කරුණා කරල බෞද්ධ ලේබල්-එක පැත්තකට දාන්න: අපිට රකින්ට බෑ මේක, අපි බෞද්ධයො නෙවෙයි කියන්ට ප්‍රශ්නයක් නෑ. ඒක තමා තමාටම අවංක වීමක් නෙ. අඩු ගානෙ තමා තමන්ටම අවංක වෙන්ට, අවංක බෞද්ධයෙක් නම් ඒක කරන්ට. නැති නම් නොකර ඉන්ට. මේකෙ නීතියක් නැහැ නෙ? එහෙම වෙන්ට කියල මේ රටේ ඔක්කෝටම බෞද්ධ වෙන්ට කියල කියලත් නෑ නෙ? කවුරුවත් මේව රකින්ට කියල කියලත් නෑ. තමන් කැමැති නම් කරන්ට. හැබැයි අවංක වෙන්ට තමන්ට. පැහැදිලිද? ඒක මතක තියාගන්ට. මේවා හරි නිදහස්. මේවා හරි නිදහස් ආගම්. බුදු හාමුදුරුවො කොහෙ වත් නීති දැම්මෙ නෑ. මම හිතන්නේ හැම ආගමක්ම නිදහස්. පසුකාලීනව යම් යම් අය නීති-රීති මඟින්, නොයෙක් දේවල්වලින් බලය තර කරගන්ට ගියාට එහෙම නෑ.

එතකොට දැන් මේ සීලය ඇති කරගන්න කෙනා තමයි ඊට පස්සෙ සමාධියට යන්නෙ. එතන දැන් කිව්ව සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියල.

මොකක්ද ‘සම්මා වායාම’ කියන්නෙ? දෙනව උත්තරේ. මම දන්නව: නිවැරදි වෑයම. ඒවා හරියන්නෙ නෑ. සම්මා වායාම කියන්නෙ මොකක්ද කියල බුදුහාමුදුරුවො කිව්ව. සම්මා වායාම කියන්නෙ තවත් දේශනාවල බොහෝ තැන්වල සඳහන් වෙනව සතර සම්‍යක් ප්‍රධාන වීර්යය කියල. ඒ වචනෙ අහල ඇති සමහර විට. සතර සම්‍යක් ප්‍රධාන වීර්යය මොකක්ද වායාම? මොකටද අපි වෑයම් කරන්නෙ? උපන් අකුසල් ප්‍රහාණය කිරීමට. ඒ එකක්. අනික් එක තමයි: නූපන් අකුසල් නූපදවීමට. අනික් පැත්තෙන් ඊළඟට කියනව උපන් කුසල් රැකගැනීම සහ නූපන් කුසල් උපදවාගැනීම. පැහැදිලියි නේද කියපු දේ? උපන් කුසල් රැකගන්ටත් ඕන; පවත්වාගෙන යන්ටත් ඕන. නූපන් කුසල් ඇති කරගන්ටත් ඕන. අනික් පැත්තෙන් උපන් අකුසල් නැති කරන්ටත් ඕන. ඒ කියන්නෙ: ප්‍රහාණය කරන්ට ඕන. නූපන් අකුසල් නූපදවන්ට ඕන. මෙන්න මේකට කරන වෑයම. මේකට කියන්නෙ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය කියල. මෙන්න මේ කියන වෑයම සතර සම්‍යක් ප්‍රධාන වෑයම. දැන් වායාම කියන කොට මෙතන වචන දෙකක් පැහැදිලිව සඳහන් වුණා. අකුසල් සහ කුසල් කියල.

දැන් එතකොට ප්‍රශ්නයක් වෙනව: මොනවද කුසල්? මොනවද අකුසල්? කියල. මේ රටේ හරි ආන්දෝලනයක් තියෙනව මේ කාලෙ. ධර්ම දේශනා අහන කොට ඇහෙනව, ධර්ම සාකච්ඡාවේදී බොහෝ අය ප්‍රශ්න කරනව කුසල් මොනවද? අකුසල් මොනවද? කියල. මේවට අර්ථකථන විවිධ විවිධ ඒවා එකඑක්කෙනාට ඕන ඕන විදියට දෙන්ට පුළුවන්. මේ වචන දෙක බුදු හාමුදුරුවො එක එක තැන්වල සඳහන් කරල තියෙනව. හැබැයි මොන දේ වුණත් අපි වාදෙට යන්ට ඕන නෑ. අපි මේ දේශනාවට අදාළ තැන මේ කුසල් සහ අකුසල් මොනවද කියල බලාගත්තම හොඳටම ප්‍රමාණවත්.

නමස්කාර සඟරාව ඇසුරෙනි
www.namaskara.lk - 2015 ජනවාරි




2015 පෙබරවාරි මස නමස්කාර සඟරාවේ පලවූ ලිපියකි.

දුක නිවන දහම

ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව පාදක කරගමින් බුදුදහමෙහි පදනම පැහැදිලි කරන ලිපි මාලාවෙහි තවත් කොටසකි.

අපි බලමු මොනවද අකුසල් කියල. දන්නවද අකුසල් මොනවද කියල? බුදු හාමුදුරුවො අදහස් කළේ ප්‍රාණඝාතයෙන් වැළකීමද? දැන් හුඟක් අය හිතනව මේ අකුසලය කියල කියන්නෙ ප්‍රාණඝාතය කියන-එක, අදත්තාදානය වගේය, ඉතින් කුසල් කියන්නෙ ඒවායින් වැළකීමය කියල. එහෙම කියපු තැනුත් තියෙනව බුද්ධ දේශනාවෙ. ඒත් දැන් මෙතනට මේක අදාළ වෙන්නෙ නෑ. දැන් අපේ සීලය තුළ ප්‍රාණඝාතයෙන් වැළකිලා ඉන්නෙ, අදත්තාදානයෙන් වැළකිලා ඉන්නෙ. එහෙම නම් ආයෙමත් මෙතන ඒ කතන්දරේ එන්නෙ නෑනේ. මෙතන අකුසල් කියල කිව්වෙ වෙන මොකුත් නෙවෙයි, නීවරණ. නීවරණ කියල ජාතියක් අහල තියෙනවද? නීවරණ කියල ජාතියක් තියෙනව. සෑම කෙනෙක්ගේම සිත ප්‍රභාස්වරයි: බැබළෙනව; මැණික් ගලක් වගේ ඉතාම ප්‍රභාස්වරයි. නමුත් බාහිරින් ආපු අකුසල් නිසා අකුසල දහම් නිසා ඒ ප්‍රභාස්වරය නැති වෙලා ගිහිල්ල තියෙනව. හරියට අර මැණික් ගලේ දූවිලි බැඳිලා වගේ. අන්න එහෙම හිතේ තියෙන ප්‍රභාස්වරය වැහිල ගිය කරුණු පහක් තියෙනවා. ප්‍රභාස්වරය වහන නිසා ඒකටයි නීවරණ කියල කියන්නෙ. මේ නීවරණ තමයි බුදුහාමුදුරුවො මෙතන අදහස් කළේ. මොනවද මෙන්න මේ පහ? අපි බලමු මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච-කුක්කුච්ච, විචිකිච්ඡා.

කාමච්ඡන්ද කියල කිව්වෙ ඇස, කන, නාසය ආදි දොරටු ද්වාරවලින් අරමුණු අරගෙන ආස්වාද කරන්ට තියෙන ආශාව; ඉන්ද්‍රිය පිනවන්ට තියෙන ආශාව. මේ කාමච්ඡන්ද නිසා හිතේ තියෙන ප්‍රභාස්වරය වැහිල, ඒවා පස්සෙන් පන්නනව. සිත දැන් දුර්වලයි. ඒක නිසා තමයි ලෝක සත්‍යය පේන්නෙ නැත්තෙ.

එතකොට ඊළඟ දේ තමයි ව්‍යාපාදය. හැම වේලේම පි‍්‍රය අරමුණුම ලැබෙන්නෙ නෑ. හැබැයි පි‍්‍රය අරමුණේ ඇලෙනව. ඒක තමයි කාමච්ඡන්දය. අපි‍්‍රය අරමුණේ ගැටෙනව. අන්න ව්‍යාපාදය හටගන්නව. තරහව, ඒකට කිව්ව ව්‍යාපාදය කියල. ඒක අකුසලයක්, නීවරණයක්, කෙලෙස්. එතකොට ඒ දෙවැනි එක.

තුන්වැනි එක මොකක්ද? ථීනමිද්ධ කියල කිව්වෙ සිතේ සහ කයේ තියෙන කම්මැළිකම, අලස ස්වභාවය. හැබැයි අකුසල් කරන්ට එහෙම නොවෙයි, කුසල් දහම්හි යෙදෙන්ටයි කම්මැළි. පසුබහිනව, මැළි ස්වභාවයක් තියෙනව, අලස ස්වභාවයක් තියෙනව සිතේ සහ කයේ. සිත අලස වුණාම මේ කයත් අනිවාර්යයෙන්ම අලසයි. කොහොම හරි මේ සිතේ සහ කයේ අලස ස්වභාවය තමයි ථීනමිද්ධ කියල කිව්වෙ. ඒක අකුසලයක්. ඒක නීවරණයක්.

ඊළඟට හතරවැනි එක තමයි, උද්දච්ච-කුක්කුච්ච කියල කියන්නෙ. මෙතන උද්ධච්ච, කුක්කුච්ච කියල නීවරණ දෙකක් තියෙනවා. නීවරණ දෙක එකටම යන හින්ද එකටම අරන් තියෙන්නෙ. උද්ධච්ච කියල කියන්නෙ හිතේ තියෙන නොසන්සුන් බව, විසිරුණු ස්වභාවය. එක අරමුණක ඉන්ට බෑ. සිත දහ අතේ පැන-පැන දුවනව, එකින් එකට යනව. ඊළඟට කුක්කුච්ච කියන-එක ඒකත් එක්කම එකටම කියවෙනව. කුක්කුච්ච කියල කියන්නෙ: මේ ඕනෑම පුද්ගලයෙක් තුළ තියෙනව අකුසල් කරපුව. රහතන් වහන්සේ හැර ඕනෑම කෙනෙක් තුළ කරපු අකුසල් තිනෙව. සෝවාන් ඵලයට පත් වුණාට පස්සෙ, ඒ කියන්නෙ ආර්ය තත්ත්වෙට පත් වුණාට පස්සෙ, බලපාන්නෙ නෑ.කුක්කුච්ච කියල කියන්නෙ සෝවාන් වෙලා නැති සියලු පෘථග්ජනයන් තුළ අනිවාර්යයෙන්ම තියෙන, තමා කරපු අකුසල කර්ම පිළිබඳ හිතේ තැවෙන ස්වභාවය. හිත සැලෙනව, තැවෙනව, කම්පාවට පත් වෙනව. නිතරම, අර තුවාලයක් තියෙන කොට පෑරෙනව වගේ, හිතට එනව මම අහවල් අකුසල් කළා නේද? කියල.

ගැලවුමක් නෑ. මිනිහෙක් මරල වුණත් මිනිස්සුන්ට බේරෙන්ට පුළුවන් සමහර වෙලාවට නීතියෙන්, නැත්නම් සමාජ අපවාදයෙන්. ඒත් තමාගෙන් බේරෙන්ට බෑ. තමාගේ අධ්‍යාත්මය දන්නව ඒක. අන්න ඒක තමා එතන කිව්වෙ, කුක්කුච්ච. තමා කරපු අකුසල් පිළිබඳව සැලෙන ස්වභාවය, තැවෙන ස්වභාවය. ඒ වගේම නොකළ කුසල් තියෙනව. සමහර වෙලාවට කුසල් කරන්ට අවස්ථාව ලැබිල, මොකක් හරි හින්ද කළේ නෑ. ඒ ගැනත් දුක් වෙනවා “ෂහ්! මට අහවල්-එක කරන්ට තිබුණා. මම ඒක ඒ වෙලාවෙ කරගත්තෙ නෑනෙ” කියලා. ඒ ගැනත් තැවෙන ස්වභාවයක් තියෙනව. මෙන්න මේක තමයි කුක්කුච්ච කිව්වෙ. කළ අකුසල් පිළිබඳව තැවෙන ස්වභාවය සහ නොකළ කුසල් පිළිබඳව තැවෙන ස්වභාවය. එතකොට මෙන්න මේකට කිව්වෙ උද්ධච්ච-කුක්කුච්ච කියල.

පස්වෙනි-එක තමයි විචිකිච්ඡාව: බුදුන් වහන්සේ පිළිබඳව, ධර්මය පිළිබඳව, ආර්ය මහා සංඝරත්නය පිළිබදව, පරලොව පිළිබඳව, සුගතිය-දුගතිය ආදි විවිධ දේවල් පිළිබඳව සැකය. මෙහෙම එකක් තියෙනවද? මේක ඇත්තද? අපි මැරුණම නැවත ඉපදෙනවාද? පුනරුත්පත්තිය කියල එකක් තියෙනවද? වගේ බොහෝ දේවල් පිළිබඳ සැක. මේවා අපේ ඇහැට පේන්නෙ නෑ. මේවා නුවණින් දකින්ට ඕන දේවල්. ඉතින් හැම දෙයක් කෙරෙහිම සැක කරන ස්වභාවයක් තියෙනව. මෙන්න මේක තමයි විචිකිච්ඡාව.

මෙන්න මේ පහ තියෙනකං නිවන් දකින්ට බෑ. මේ පහ නැති කරගන්ට කරන වීරිය තමයි එක පැත්තකින් ඔය අපි කිව්ව කුසල්.

උපන් අකුසල්. දැන් කාමච්ඡන්ද තියෙන වෙලාවට ඒක උපන් අකුසලය. නමුත් ඒ වෙලාවට ව්‍යාපාදය නෑ. එතකොට ව්‍යාපාද නූපන් අකුසලයක්. කාමච්ඡන්දය තියෙන කොට ඒක උපන් අකුසලයක්. ව්‍යාපාදය ඒ වෙලාවට නැත් නම් ඒක නූපන් අකුසලයක්. ඒකයි කිව්වෙ. උපන් අකුසල් කිව්වෙ කාමච්ඡන්ද. ඒක නැති කරන්ට මොකක්ද අපි කරන්ට ඕන? මේ කියන්ට යන්නෙ සමථ භාවනාව ගැන. මේ දේවල් යටපත් කරන්නෙ සමථ භාවනාවෙන්. එතකොට භාවනා කළාම මොකද වෙන්නෙ? කාමච්ඡන්ද තිබුණා නම් ඒක නැති වෙලා යනව. ඒ භාවනාව කරගෙන යද්දී ව්‍යාපාදය ඇති වෙන්ට පුළුවන්. ඒකයි මේ බුදු හාමුදුරුවො දේශනා කළේ. උපන් අකුසල් සහ නූපන් අකුසල් පිළිබඳව කියන්නෙ ඔය විදියටයි.

ඊළඟට කුසල් ගැන. මොනවද කුසල්? පඤ්ච නීවරණ නැති වෙන කොට සිතේ කුසල් මතු වෙනවා. අනිවාර්යයෙන් සිතේ පඤ්චනීවරණ තියෙනව. අභාවිත සිතක, භාවනා කරන්නෙ නැති සිතක හැම වේලේම නීවරණ පහ තියෙනව. ඒවා එක-එකක් අඩු-වැඩි වශයෙන් තියෙනවා. මේ පහම තියෙනව. පහම එකට ක්‍රියාත්මක වෙන්නෙ නෑ. අඩු-වැඩි වශයෙන් පවතිනව. දැන් භාවනා කරගෙන යනකොට මොකද වෙන්නෙ? සමථ භාවනාව කරගෙන යන කොට මේවා යටපත් වෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද, ථිනමිද්ධ, උද්ධච්ච-කුක්කුච්ච, විචිකිච්ඡා කියන පඤ්ච නීවරණ යට යන කොට මතු වෙනව හිතේ ප්‍රභාස්වරය. එතකොට ප්‍රභාස්වර සිතක මොනවද තියෙන්නෙ? ධ්‍යාන අංග. විතක්ත, විචාර, පීති, සුඛ, ඒකග්ගතා කියන අංග පහ. මෙන්න මේ ධ්‍යාන අග තමයි මෙතෙන්දි අදහස් කළේ. ප්‍රථම ධ්‍යානය තුළ තියෙනව ඔය විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා කියන ධ්‍යාන අංග පහම. ද්විතීය ධ්‍යානයට යන කොට විතර්්ක, විචාර දෙක නෑ; පී‍්‍රතිය, සුඛය, ඒකාග්‍රතාව පමණි. ඊට පස්සෙ තෘතීය ධ්‍යානයට යනව. එතෙන්දි පී‍්‍රතියත් අත්හරිනව. එතකොට ඉතිරි වෙන්නෙ සුඛය හා ඒකාග්‍රතාව පමණයි. අපි චතුර්ථ ධ්‍යානයට යන කොට සුඛයත් අත්හරිනව. අන්තිමට ඉතුරු වෙන්නෙ ඒකාග්‍රතාව පමණයි.

මෙන්න මේක ඇති කරගැනීම තමයි, මෙන්න මේ ධ්‍යාන තමයි කුසල් කියල කිව්වෙ. එතකොට මෙන්න මේ නීවරණ යටපත් කරල ධ්‍යාන සිත ඇති කරගැනීම තමයි ‘සතර සම්‍යක් ප්‍රධාන වීර්යය’ කියල, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙ ‘සම්මා වායාම’ කියල කියන්නෙ.

මේක පටලවගන්ට එපා. තව තැන්වල තවතවත් ප්‍රකාශන වෙලා ඇති. මම මේ කථා කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන. පැහැදිලිද මේ කියපු ටික? මේක අමාරු ඇති. දැනට මතක තියාගන්ට. අර පැරණි මතයෙ ඉන්න එපා. දැන් සම්මා වායාම කිව්වෙ මොකක්ද? මෙන්න මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. සතර සම්‍යක් ප්‍රධාන කිව්වම: මොනවද මේ කුසල් අකුසල් කියන-එකත්, මේවා ඇති කිරීම සහ නැති කිරීම පිළිබඳවත් අවබෝධයෙන් තමයි ඉන්ට ඕන. මේක තමයි කරන්ට ඕන. මේ ටික කරන්නෙ සමථ භාවනාවෙන්.

දැන් පින්-පව් කියල දේකුත් කථා වෙනව. දැන් හුඟාක් වෙලාවට මේකට විවිධ නිර්වචනයන් දෙනව විවිධ අය. දැන් ඔය පින් සහ පව් කියන-එක ගනිමු. ඒ දෙක ලෞකිකයි. ඒ කියන්නෙ සුගතිගාමී වෙන්ට කරන දේට අපට කියන්ට පුළුවන් පින් කියල. එතකොට දුගතිගාමී වීම සඳහා හේතු වන කර්මවලට අපිට කියන්ට පුළුවන් පව් කියල. ප්‍රාණඝාතය පවක්. නිරයට යනව. ප්‍රාණඝාතයෙන් වැළකීම පිනක්. හැබැයි ඉතින් බුදුහාමුදුරුවො කුසල් කියන වචනෙන් ඔතනට දාල තියෙනව. දැන් මෙතන තියෙන්නෙ වචනවල ප්‍රශ්නයක්. මට පේන විදියට ඉතින් අපි වචනවල එල්ලෙන්ට යන්නෙ ඇයි? ‘වචන’ ධර්මෙ නෙවෙයිනෙ නේද? මොකද මේ ලෝකෝත්තර ධර්මය දේශනා කරද්දි බුදුහාමුදුරුවන්ට ගොඩාක් ප්‍රශ්න මතු වුණා. මොකද භාෂාවක් හැදිල තියෙන්නෙ තමාගේ ඉන්ද්‍රිය ගෝචර ධර්මවලට අනුව. එක එක ජන කොට්ඨාස තමතමාගේ ඉන්ද්‍රිය ගෝචරව තමාට හැඟෙන අදහස් හුවමාරු කරගැනීම සඳහා සකස් කරගන්න සංකේත සමූහයකටයි භාෂාව කියල කියන්නෙ. සමහරු පාලි භාෂාවට වඳිනව ඒකෙ බලයක් තියෙනව කියල. හොඳට මතක තියාගන්නට එහෙම වෙන්ට බෑ. පාලියට මහා බලයක් තියෙන්ට බෑ.

පාලි කියන්නෙත් සිංහල, දෙමළ, ඉංගී‍්‍රසි, ලතින්, ගී‍්‍රක් වගේ තවත් භාෂාවක් විතරයි: එක්තරා ජන කොට්ඨාසයක් ඔවුන්ගේ අදහස් හුවමාරු කරගැනීම සඳහා සකස් කරගත්ත සංකේත සමූහයක්. ඉතින් මේ සංකේත සමූහයක් ඇති වෙන්නෙ, මේ භාෂාව කියන-එක හටගන්නෙ ඉන්ද්‍රිය ගෝචර ධර්ම අනුව. ඉතින් බුදු හාමුදුරුවො දේශනා කරපු නිබ්බානය, නිවන මොන ඉන්ද්‍රියටද ගෝචර වෙන්නෙ. නුවණටයි ගෝචර වෙන්නෙ? ඉතින් එතෙන්ට ගිය කෙනෙක් එතෙක් හිටියෙ බුදුන් වහන්සේ පමණයි. පසුකාලීනව උන් වහන්සේගෙ මාර්ගය පිළිපැදල රහත් වෙච්ච අය ඉන්නව. මාර්ගඵලවලට පත් වෙච්ච අය ඉන්නව. ඒ අය පමණයි බුදුන් වහන්සේ කියන දේ ප්‍රත්‍යක්ෂව දන්නෙ. අනික් අය දන්නෙ නෑ. ඉතින් ඒක නිසා බුදු හාමුදුරුවන්ට මේ මිනිස්සු දන්නැති, අත්දැකීම් නොලබපු ධර්මය දේශනා කරන්ට වුණේ අර අත්දැකීම් ලබපු වචන හරහා. පැහැදිලිද? එතකොට මෙන්න මේ අවුලට ලක් වෙනව. ඒක හින්ද හැම දෙනාගෙන්ම ඉල්ලා හිටිනව: වචන පස්සෙ නම් යන්ට එපා. වචන එක්ක එල්ලෙන්ට යන්ටත් එපා. ඉතාම පැහැදිලියි.

දැන් මේ චතුරාර්ය සත්‍ය දේශනාව පිළිබඳවයි අපි කථා කරගෙන යන්නේ. ඒ: දුක සහ දුක නැති කරගැනීම පිළිබඳව, දුකට හේතුව නැති කිරීම පිළිබඳව. ඉතින් ඒ තුළ මාර්ගය ලෙස ආර්ය අෂ්ටාංගික මාර්ගය සඳහන් වෙනව. ඉතින් ඒකෙ සීලය මොකක්ද කියල කිව්ව? දැන් මෙතන කුසල් කියනව. කුසල් කියන වචනය කියනව. ඉතින් මේක තමයි කළ යුත්තෙ, බෞද්ධයො වශයෙන්.

ලෝකෙ පින්-පව් හැමදාම තිබුණා. දන් දෙන එක පින්. සිල්වත් වීම පිනක්. දන් දීල සුගතිගාමී වෙයි; දිව්‍ය ලෝක සම්පත්, මනුෂ්‍ය සම්පත් ලබන්ට පුළුවන්. සිල් රැකල, දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝකවලට යන්න පුළුවන්. හැබැයි සිල් රැකල, දන් දීල නිවනට යන්ට නම් බෑ. ඒ හින්ද සරල උදාහරණයක් මට මෙතනදී නිකම් කියන්ට පුළුවන්. පින්-පව් කියල කියන්නෙ මේ ලෝකෙට අදාළ වන සුගතිගාමී සහ දුගතිගාමී වන කර්මවලට. කුසල් හා අකුසල් කියන්නෙ ලෝකෝත්තර තත්ත්වයට පත් වෙන්ට වුවමනා කරන ක්‍රියාකාරකම්වලට කියල කියන්ට පුළුවන්. මම මේක මතයක් වශයෙන් දැඩිව ගන්ට යන්නෙ නෑ. අපි ඔතනින් ඕක නවත්තමුකො. වචනත් එක්ක අපට ගැටෙන්න වුවමනාවක් නෑ. මොකද? තර්ක-විතර්ක කරල මේ ධර්මය අවබෝධ කරගන්ට බෑ. මේක තර්කයට ගෝචර වෙන්නෙ නෑ. මේක ප්‍රත්‍යක්ෂය තුළින් තමාගේ ඥානයෙන් නුවණින් දැකිය යුතු ධර්මතාවක්. තමා තුළින් තමාගේ නුවණින් දකින්ට ඕන.

ඊළඟට මෙතන භාවනා ගැනත් කියනව. ඉතින් මේකට ඕන නම් පින් කියල කියන්ට; ඕන නම් කුසල් කියලත් කියන්ට. කැමති එකක් කියන්ට. මොකද කියන්නෙ? ඒක හින්ද අපි ඒක අමතක කරමු නේද?

එතකොට සම්මා වායාම. දැන් මේක කරගත්තහම මොකද වෙන්නෙ? අකුසල් යටපත් කරල කුසල් මතු කරගත්තහම ප්‍රභාස්වර සිත මතු වෙනවා. අන්න ඒ සිතට පුළුවන් ලෝකෙ තියෙන ඕනෑම ගැඹුරු ධර්මතාවකට මේ සිත යොමු කරන්ට. අන්න ඒ සිත තමයි එතකොට අපි යොමු කරන්නෙ සම්මා සතියට. සම්මා සතිය කියන්නෙ මොකක්ද? නිවැරදි සිහිය එහෙම නම් නොවෙයි. සතිය කියන්නෙ සිහිය තමයි. ඒක බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ සිහිය පිහිටුවන්ට ඕන තැන. කොහෙද සිහිය පිහිටුවන්නෙ. සතර සතිපට්ඨානයෙ කියලයි කිව්වෙ. සිහිය පිහිටුවන තැන් හතරක් කිව්ව: කය පිළිබඳව, වේදනා පිළිබඳව, සිත පිළිබඳව සහ ධම්ම පිළිබඳව.

කය පිළිබඳව, “කායේ කායානුපස්සි විහරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්සං.”

මෙන්න මේ කායානුපස්සනාව වඩන හැටි සතිපට්ඨාන සූත්‍රයේ භාවනා දාහතරක් ඔස්සේ අපිට පෙන්නල දීල තියෙනව. ඒ විදියට අපි ඒක භාවනා ගැන කථා කරන කොට කථා කරමු. එතකොට මේ සතර සතිපට්ඨානය තමයි, ඒක වඩන-එක තමයි ‘සම්මා සති’ කියල කියන්නෙ. මෙතෙක් අහල තිබුණෙ මොකක්ද? බෞද්ධ නම් නිති පන්සිල් පෝය අටසිල් රකින්ට ඕන. මේව හින්දු ආගමෙන් ආවෙ. කොටින්ම කියනවා නම් ඉස්සර මේවා තිබුණා.

බුදුවරු පහළ වෙන්නෙ පන්සිල් ගැන කියන්න නෙවෙයි. මම ඉස්සෙල්ලත් ඕක කිව්ව, දැනුත් කියනව. එහෙනම් මොකටද බුදුවරු පහළ වෙන්නෙ? එතකොට ඔන්න උත්තරේ ආව. බුදුවරු පහළ වෙන්නෙ ලෝකෙට සතර සතිපට්ඨානය කියල දෙන්ට.

හොඳට මතක තියාගන්ට: බුද්ධ දේශනාවේ හරය, අරටුව මොකක්ද? මෙන්න මේ සතර සතිපට්ඨාන භාවනාව. මේ සතර සතිපට්ඨානය වැඩුවොත් විතරයි නිවනට යන්ට පුළුවන්, මේ දුකින් මිදෙන්ට පුළුවන් සදාකාලිකවම. බුදුවරු නැති කාලවල බුද්ධ ශාසන නැති කාලවල අනෙකුත් ආගම්වල තියෙන්නෙ මොනවද? සතර සතිපට්ඨානයෙන් තොර අනෙකුත් සියලු දේවල් තියෙනව. දාන-සීල-භාවනා ඒවයෙ තිබුණා. ඒ මිනිස්සුත් දන් දුන්නා. අනෙකුත් ආගමිකයෝත් දන් දෙනව. අනෙක්

ආගම්වලත් සීලය තියෙනව. බුද්ධ ශාසන නැති කාලවලත් දානය තිබ්බ, සීලය තිබ්බ; භාවනාත් තිබ්බ; ධ්‍යාන ලැබුව; බ්‍රහ්ම ලෝකවල ඉපදුණා. නේවසඤ්ඤානාසඤ්ඤා දක්වා අෂ්ට සමාපත්ති උපදවාගත්ත; බ්‍රහ්ම ලෝකවලට ගියා. ඒ අය හිතුව මේක තමයි පරමාර්ථය, මේක තමයි පරම සැපත කියල. බ්‍රහ්ම ලෝකවලට යන්න ඕන කරන ධ්‍යාන වැඩුව. නමුත් ඒක සත්‍යය නොවෙයි කියල දැක්ක බුදු හාමුදුරුවො, කවදද ඒක දැක්කෙ? මුලින්ම අර ආලාරකාලාම, උද්දකාරාමපුත්ත ළඟට ගිහිල්ල ඉගෙනගත්තෙ මොකක්ද? ඔන්න ඔය කියන ‘නේවසඤ්ඤානාසඤ්ඤා’ දක්වා තියෙන අෂ්ට සමාපත්ති සමථ භාවනා. ඒවා ලෞකිකයි. ඒවත් දුකයි, ඒවාත් අනිත්‍යයි, ඒවත් අනාත්මයි. ඒවත් ලෝකෙට අයිතියි. ඒක හින්ද ඒක පරම සත්‍යය නොවෙයි. එහෙම නම් පරම සත්‍යය හොයන භාවනාවක් දැනගන්ට ඕන. මොකක්ද ඒක? ඒක හොයාගන්ට තමයි බුදුහාමුදුරුවො අවුරුදු හයක් දුෂ්කරක්‍රියා කළේ. මොකක්ද සොයාගත්තෙ? මෙන්න මේ සතර සතිපට්ඨානය. පැහැදිලිද කියන දේ?

එතකොට බුදුවරු පහළ වෙන්නෙ සතර සතිපට්ඨානය දේශනා කරන්ට. අනෙකුත් භාවනා තිබුණා. බුදු හාමුදුරුවො ඒවාත් නිවැරදි කරමින්, ක්‍රමවත් කරමින්, පිළිවෙළට සකස් කරමින් සැබෑ භාවනාවට ගෙනියනව. මෙන්න මේ කියන සතර සතිපට්ඨනයටයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ‘සම්මා සති’ කියල කිව්වෙ. මෙන්න මේ කිව්ව හතරට. එතකොට ‘නිවැරදි සිහිය’ කියල එහෙම ඇඟ බේරගන්ට බෑ කාට වත්!

දැන් සතර සතිපට්ඨානය වඩන කොට, සම්මා සතිය වඩන කොට මොකද වෙන්නෙ? කය පිළිබඳව, කයේ යථා ස්වරූපය පිළිබඳව අපි බලනව, වීරියෙන්, නුවණින්, සිහියෙන්. “ආතාපි සම්පජානෝ සතිමා.” කය දෙස, කයේ යථා ස්වරූපය දෙස බලමින් වාසය කරනව. කොහොමද? වීරියෙන්, නුවණින්, සිහියෙන්, “විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්සං” අනුව.

මම මේ එකක් උදාහරණයට ගත්තෙ. ඇලීමෙන් සහ ගැටීමෙන් තොරව මෙන්න මෙතෙන්ට එන්ට ඕන. මෙන්න මේ ටික කරගන්ට වඩාත් හේතු වන දේ තමයි:. මූලික සිද්ධාන්ත හතරක් එතන තියෙනව. මොනවද? වීරියයි, නුවණයි, සිහියයි. එතන තුනයි. ඇලීම සමඟ ගැටීම නැත් නම් එතන මොනවද තියෙන්නෙ? මධ්‍යස්ථ බව, උපේක්ෂාව. එතකොට මේ සතර සතිපට්ඨානය වඩන්ට අපට වුවමනා කරනව ප්‍රධාන සාධක හතරක් වීරියයි, නුවණයි, සිහියයි, උපේක්ෂාවයි. දැන් මෙතන සිහිය ගැන ආයෙ කියනව. සතර සතිපට්ඨානයේ සිහිය පිහිටුවන තැන් හතරක්. ඒක කරන්ටත් ආයෙත් සිහියක් ඕන.

දැන් හරි ගැටලුවක්: මොකක්ද ඒ සිහිය එතකොට? වර්තමානය, එළඹ සිටි සිහිය: වර්තමානය. මිනිස්සුන්ගෙ හිත හැමවෙලේම තියෙන්නෙ එක වෙලාවකදි අතීතයෙ. කරපු හොඳ දෙයක් නම් මතක් කර-කර සතුටු වෙනව. නරක දෙයක් නම් මතක් කර-කර දුක් වෙනව. ඊළඟට තව වෙලාවකදී අනාගතයෙ සිහින මවනව. ඕකනෙ කරන්නෙ. හැම වෙලේම සිත අතීතයෙ නැත් නම් අනාගතයෙ. එතකොට අතීතය මියගිය දෙයක්. අනාගතය නූපන් දෙයක්. එතකොට මිනිස්සු ඉන්නෙ ඔය දෙකේ. ඒ මිනිස්සු මැරුණ වගේ නේද? අතීතය මැරිලා, අනාගතය ඉපදිලා නෑ. ඔය දෙකේ අපි ඉන්නව කියල කියන්නෙ ජීිවත් වෙනවද? ජීවත් වෙන්නෙ නෑ. අර ඒකයි “අප්පමාදෝ අමත පදං - පමාදෝ මච්චුනෝ පදං” කිව්වෙ.

ප්‍රමාදය කියල කිව්වෙ මොකක්ද? අතීතයෙ සහ අනාගතයෙ සිත. අන්ත දෙකේ තියෙන්නෙ. අප්‍රමාද වෙන්න නම් මොකද කරන්ට ඕන? සිත වර්තමානයට ගේන්ට ඕන. මේ මොහොතට ගේන්ට ඕන. මේ මොහොතට ගේන්ට තමයි, අපි අර සමථ භාවනාව කරල සිහිය දියුණු කරගන්නෙ. සතර සතිපට්ඨානයට එන්ට ඉස්සර වෙලා අර වීරිය, නුවණ, සිහිය සහ උපේක්ෂාව කියන හතර තියෙන්නෙ කොහෙද? මේ ධ්‍යානවල චතුර්ථ ධ්‍යානයෙ මේ හතරම තියෙනව. උපේක්ෂාව තියෙන්නෙ මෙතන. මම කියන්ට යන්නෙ නෑ. බුදුහාමුදුරුවො කිව්වෙ නෑ නිශ්චිතම මේක, චතුර්ථ ධ්‍යානයට යා යුතුමයි කියල. සමථය අවශ්‍යයි. සමථයෙන් තොර විදර්ශනාවක් නෑ. සමථයට තමයි ‘සම්මා වායාම’ කිව්වෙ. දැන් විදර්ශනාවම තමයි සතර සතිපට්ඨානය කිව්වෙ. දැන්-මම ගොඩාක් ගැඹුරට විස්තර කරන්ට ගිහින් අවුල් ජාලයක් වෙයි. දැනට ඔයින් නවත්වනව.

නමස්කාර සඟරාව ඇසුරෙනි
www.namaskara.lk - 2015 පෙබරවාරි




2015 මාර්තු මස නමස්කාර සඟරාවේ පලවූ ලිපියකි.

දුක නිවන දහම

සැබෑ බුද්ධ දේශනාව ගවේෂණය කරමින් තමන් අත්පත් කරගත් ඥානය, දම්සක්පැවතුම් සූත්‍රය පාදක කරගෙන විවරණය කරලීමට මේ හිමියෝ යත්න දරති.

සතර සතිපට්ඨානයේ සිහිය පිහිටුවන කොට මොකද වෙන්නෙ අපට? සති සම්බොජ්ඣංගය වැඩෙනව. සිහිය දිගින් දිගට දිගින් දිගට එහෙම පවත්වගෙන යන කොට මොකද වෙන්නෙ? ලෝකයේ යථා ස්වරූපය දකින්ට පටන් ගන්නව.

ඇති වීම - නැති වීම දකිනව. මොකෙන්ද දකින්නෙ? නුවණින්; නුවණැසින්. ධම්මවිචය: ඇති වීම-නැති වීම, ඊළඟට ඒක දිගින් දිගට තව වඩාගෙන යන කොට සති සම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩෙන්ට පටන් ගන්නවා. ඒක වැඩීගෙන වැඩීගෙන යනකොට මොකද වෙන්නෙ? වීරිය සම්බෝජ්ඣංගය වැඩෙනව. එහෙම යනකොට, තවත් වඩාගෙන යනකොට සති සම්බොජ්ඣංගය.

මෙතන සතර සතිපට්ඨානයේම සිහිය පිහිටුවාගෙන යන කොට ඊළඟට මහා පී‍්‍රතියක් දැනෙනව; සිතට සැහැල්ලුවක් දැනෙනව; කෙලෙස් ප්‍රහාණය වෙන්ට පටන් ගන්නව. සමථ භාවනාවෙන් වෙන්නෙ අර පඤ්ච නීවරණ යටපත් වීම පමණයි. විදර්ශනාවෙන් ලෝකයේ සත්‍යය දකින කොට මොකද වෙන්නෙ? කෙලෙස් නැති වෙන්ට පටන් ගන්නව. ඊට පස්සෙ පී‍්‍රතියක් සැහැල්ලුවක්, අධික පී‍්‍රතියක් දැනෙන්න පටන් ගන්නව. ‘පී‍්‍රතිය’ ළඟට පස්සද්ධි කියල කිව්වෙ කයත් සැහැල්ලුයි, සිතත් සැහැල්ලු වෙන්ට පටන් ගන්නව. සහන්සියක් දැනෙන්නෙ නෑ. දිගින්-දිගට, දිගින්-දිගට සතර සතිපට්ටානය වැඩෙනව.

ඊට පස්සෙ ‘සැහැල්ලුව’ ඒ කියන්නෙ ‘පද්සද්ධිය’, ඊළඟට සමාධිය. මෙන්න මේක තමයි සම්මා සමාධිය කියන්නෙ. මේකට කියනව විදර්ශනා සමාධිය කියල. ඒක විශේෂ සමාධියක්; අර කලින් දියුණු කරපු සමථය තුළින් වැඩුණු ධ්‍යාන සමාධිය නොවෙයි. ඒක විදර්ශනා. දැන් කෙලෙස් ප්‍රහාණය වෙලා. අතන අර සමථ භාවනාවලින් ආවෙ කෙලෙස් යටපත් වීම තුළ. දැන් සතිපට්ඨාන භාවනාව තුළ කෙලෙස් නැති වෙනව, විනාශ කරනව, ප්‍රහාණය කරනව. ඒ හරහා වැඩෙනව ආපහු සමාධිය, ධ්‍යාන වැඩෙන්ට පටන් ගන්නව. ඒක අර විදියට ආයෙත් චතුර්ථ ධ්‍යානය දක්වා වැඩෙනව. වැඩිල උපේක්ෂාවට එනව. ‘සංඛාර උපේක්ෂා’ කියල කිව්වෙත් ඒක.

දැන් බොජ්ඣංග සූත්‍රයේ සමාධිය ළඟට කියන්නෙ මොකක්ද? සමාධි සම්බොජ්ඣංග, ඊළඟට උපේක්ෂා සම්බොජ්ඣංගය. උපේක්ෂා: කිසිම දේකට ඇලෙන්නෙ ගැටෙන්නෙ නැති මධ්‍යස්ථ තැනට ඒකාග්‍රතාවට වැටෙනව. ඊළඟට මොකද වෙන්න? විමුක්තිය ඊට පස්සෙ පහළ වෙනව. විමුක්ති ඥාන දර්ශනය. දැන් මේ හතර වැනි සැරේටයි මේ මිදෙන්ට ඕන. මේ විමුක්තිය කියන තැන. ඊට ඉස්සර වෙලා සෝවාන්, සකෘදාගාමි, අනාගාමී කියන ඒ මාර්ග ඵල ලැබෙනව. හතර වන අවස්ථාවේදී සිත මිදෙනව. පරිපූර්ණ වශයෙන්ම.

දැන් ඔය සම්මා සමාධිය තුළ මුලින් සිත මිදෙනව; ලෝකෝත්තර සිත පහළ වෙනව. මුලින්ම පහළ වුණාම අපි කියන්නෙ සෝවාන් කියල. එතෙන්දි අර සත්ත්වයා ලෝකයට බැඳ තබන දස සංයෝජනවලින් තුනක් නැතිව යනව. මුලින්ම සිත මිදෙන කොට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බ පරාමාස කියන සංයෝජන තුන නැතිව යනව. ඊට පස්සෙ අන්න එයාට තමා අපි කියන්නෙ සෝවාන් කියල. නැවතත් අපි සතර සතිපට්ඨානයෙම සිහිය පිහිටුවනව.

ඊළඟට තියෙන්නෙ අර ඉස්සර වෙලා වාගෙ නෙවෙයි ඊට වඩා සියුම් කෙලෙස්. ගොරෝසු කෙලෙස් ඉස්සර වෙලා නැති වෙන්නෙ. ඊට වඩා සියුම් කෙලෙස් සමූහයක් ප්‍රහාණය වෙනව. ඊට පස්සෙ කාමරාග, පටිඝ කියන සංයෝජන දෙකෙන් සියයට පණහක් නති වුණාම සකෘදාගාමි කියන තත්ත්වෙට පත් වෙනව. ඒ කියන්නේ නිරෝධ සිත පහළ වෙනව.

ඊළඟට අපි ආයෙමත් මුල ඉඳල කරන්නෙ මොකක්ද? සතර සතිපට්ඨානය වඩාගෙන වඩාගෙන යනව. එතකොට කාමරාග, පටිඝ කියන සංයෝජන සම්පූර්ණයෙන්ම විනාශයි. ඒ කියන්නෙ එතකොට දස සංයෝජනවලින් සංයෝජන පහක්ම ඉවරයි. සම්පූර්ණයෙන්ම සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස, කාමරාග, පටිඝ කියන ඒව. අන්න ඒ පුද්ගලයා ආයෙ කවදාවත් කාම ලෝකයට එන්නෙ නෑ. උත්පත්ති වශයෙන් දිව්‍යලෝක මනුෂ්‍ය ලෝකවල උපදින්නෙ නෑ ඔහු. අනාගාමී පුද්ගලයා, බ්‍රහ්මලෝකවල අනිවාර්යයෙන්ම ‘ශුද්ධාවාස’ කියල අපි කියන්නෙ, එතන ඉපදෙනව. එහෙදි නිවන් දකිනව.

සෝවාන් කෙනා භව හතයි වැඩිම වුණොත් උපදින්නෙ කාම ලෝකවල; ඒ තුළ නිවන් දකිනව. සකෘදාගාමී කෙනා එක පාරයි කාම ලෝකයේ උපදින්නෙ. මනුෂ්‍යයෙක් වශයෙන් හෝ දෙවි කෙනෙක් වශයෙන්. සෝවාන් වෙච්ච කෙනා ආයෙ කවදාවත් නිරයට යන්නෙ නෑ. එතකොට සකෘදාගාමි කෙනා එක පාරයි මනුෂ්‍ය ලෝකෙට එන්නෙ. සෝවාන් කෙනා හත් සැරයයි එන්නෙ. අනාගාමී කෙනා කවදාවත් ආයිත් මනුෂ්‍ය ලෝකෙට දිව්‍ය ලෝකෙට එන්නෙ නෑ. එයා අනිවාර්යයෙන්ම බ්‍රහ්ම ලෝකවල උපදින්නෙ ශුද්ධාවාස කියන. එහිදිම නිවන් දකිනව.

ඊළඟට තව සංයෝජන පහක් තියෙනව. රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියලා ඉතා ප්‍රබල සියුම් සංයෝජන පහක්. ඉතින් අපි යළිත් අර විදියටම සතර සතිපට්ඨානය වඩනව. ආයෙමත් වඩාගෙන වඩාගෙන යන කොට ඔය කීව කෙලෙස් ඊළඟට ඉතිරිව තිබුණු අන්තිම කෙලෙස් ටිකත් විනාශ වෙලා හතර වැනි වරටත් නිවන දකිනව. අන්න ඒක තමයි සැබෑ විමුක්තිය. ඒක තමයි අරහත් කියල කියන්නෙ. එතකොට මෙන්න මේ කිව්ව ඉතුරු සංයෝජන පහත් ඉවරයි. සංයෝජන දහයම ඉවරයි. ඔහු ආයෙත් උත්පත්ති වශයෙන් කිසිම තැනක උපතක් ලබන්නෙ නෑ. එයාට තමා අපි නිවන් දැක්ක කියල කියන්නෙ. එයාට තමයි ‘රහතන් වහන්සේ’ කියල කියන්නෙ.

දැන් එතකොට අන්න ඒක තමා විමුක්තිය කියල කියන්නෙ. හතරවැනි වරටත් විමුක්තිය ලැබුවට පස්සෙ ඔහුට පහළ වෙනව විමුක්ති ඥාන දර්ශනය. අනික් තැන්වලදීත් පහළ වෙනව තමයි. සෝවාන් වුණාමත් ඥාන දර්ශනයක් පහළ වෙනව. ප්‍රත්‍යවේක්ෂා ඥානය කියල කියන්නෙත් ඒක. මේ මේ සංයෝජන ඉවරයි, තාම විමුක්තිය සම්පූර්ණ නෑ, තව කළ යුතුයි කියල නැවතත් භාවනා කරනව. දෙවැනි පාර සකෘදාගාමි වුණාමත් ඥාන පහළ වෙනව. ඒත් දන්නව නැති වුණේ මේ සංයෝජන, මෙන්න මේවයි වුණේ, තව මට කරන්ට තියෙනව කියල ආයෙත් භාවනා කරනව. අනාගාමියත් එහෙමයි. එහෙත් රහත් වුණාම තේරෙනව නිවන් සඳහා මට තවත් කළ යුතු දෙයක් නැත, බඹසර වැස නිම විය, මේක තමයි මගේ අවසාන ජීවිතය, අවසාන උත්පත්තිය කියල තමන්ට නුවණ පහළ වෙනව. චතුරාර්ය සත්‍යය කියන එක යළිත් අපට වැටහෙන්ට පටන් ගන්නව. මේක තමයි දුක. මෙන්න සමුදය, මෙන්න නිවන, මෙන්න මාර්ගය කියල අප චතුරාර්ය සත්‍යය තුන් ආකාරයට දකින්ට පටන්ගන්නව. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන වශයෙන් ඥාන පහළ වෙනව. ඕක තමයි විමුක්ති ඥාන දර්ශනය. එතකොට අංග අටයි. ඒ අටට විමුක්ති සහ විමුක්ති ඥාන දර්ශන කියන දෙකත් එකතු වෙනව. දහයයි.

මෙන්න මේක තමයි බෞද්ධ පිළිවෙත. පොදුවේ සමස්තයක් වශයෙන් බුදුන් වහන්සේ දේශනා කළේ මොකක්ද? මොකක්ද බුද්ධ ධර්මය කියන්නෙ? කවුද බෞද්ධයා? කියන දේ දළ වශයෙන් මතු කරල දෙන්ට තමයි වීරිය ගත්තෙ. මීට වඩා සරල කරන්ට පුළුවන්කමක් තියෙනවද කියල මම නම් දන්නෙ නෑ. පුළුවන් නම් බුදුන් වහන්සේ නොකර ඉන්නෙ නෑ. මට උන් වහන්සේ අබිබවා යන්ට බෑ. ඉතින් මේක තේරුම් ගන්ට හැමෝටම බෑ. යම් කිසි නුවණක් තියෙන්ට ඕන. මේ සම්මාදිට්ඨිය ඇති වෙච්ච වෙලේ ඉඳලම එතෙන්ට එනකං සිහි නුවණක් අවශ්‍යමයි නෙ. ඉතින් මේක නැති නිසා තමයි මේ ප්‍රශ්නෙ තියෙන්නෙ. ඉතින් සමහර අය මේක මේ මිනිස්සුන්ට සාමාන්‍ය අයට තේරෙන්නෙ නැහැයි කියල සරල කරන්ට බොහෝම උත්සාහ කරන්ට ගිහිල්ල අන්තිමට ධර්මය විකෘති වෙලා විනාශ වෙලා යන තත්ත්වයට දැන් පත් වෙලා තියෙනව. අපට මේක ඕන ඕන විදියට එහාට මෙහට හරවන්ට කරන්න බෑ.

මොකද? බුදුන් වහන්සේ කියන්නෙ මහා ප්‍රඥාවන්තයා. උන් වහන්සේට කරන්ට බැරි දේ අපිට කරන්ට බෑ. මගෙන් ගොඩක් අය අහනව “අනේ ස්වාමීන් වහන්ස, මේක මීට වඩා සරල කරන්ට බැරිද? මේක මේ නූගත් අයට ගැමි ජනතාවට කියන්ට වඩා සරල ක්‍රමයක් නැද්ද?” කියල අහල තියෙනව. මම කොහොමද ඒක කරන්නෙ? මං වගේ අහිංසකයෙක් බුදුන් වහන්සේට බැරි වෙච්ච දේ! මම මේ පුංචි වැලි කැටයක් වගේ මනුෂ්‍යයෙක්. මේක එහෙම කරන්ට බෑ. පුළුවන් තරම් ඔච්චරයි. ඒ හින්ද මේක අමාරුයි කියල සමහරු පහසු දේවල් කරනව. “ඕක කරන්ට බෑ, අපි තැනේ හැටියට මෙහෙම කර ගෙන යමු”යි කියල...

මේකත් අර මං හැමදාම දෙන උදාහරණය වගේ. අර නස්රුදීන්ගෙ කතන්දරේ තමයි මට ආයෙත් මතක් වෙන්නෙ. අහල ඇතිනෙ නස්රුදීන් කියල මනුස්සයෙක් ඉඳල තියෙනව. ඒ කාලෙ ඒ මනුස්සය දවසක් මිදුලෙ දණ ගහගෙන මොනවද හොයනව; බිම අතගගා යමක් හොයනව. නැති වෙච්ච දෙයක්. මේ අසලින් යන අහල-පහල වැසියෙක් ඇවිල්ල අහනව “මොනවද නස්රුදීන් හොයන්නෙ?” කියල. ඊට පස්සෙ නස්රුදීන්.කියනව “මගෙ යතුර නැති වුණා නෙ. මම ඒ යතුර හොයනව” කියල. ඉතින් අසල්වැසියත් මෙයාගෙ උදව්වට ඇවිල්ල එයාත් දණ ගහගෙන දැන් අතගගා හොයනව. ඊට පස්ස ඒ අතරතුරේ තවත් අසල්වැසියෙක් ඔතනින් යනව.

දෙන්නෙක්ම බිම දණගහගෙන හොයනව දැක්ක. දැකල අහනව “නස්රුදීන් මොනවද මේ හොයන්නෙ?” කියල. “යතුර නැති වුණා නෙ. මම ඒක හොයනව.” ඊට පස්සෙ අර දෙවැනි පාර ආපු අසල්වැසිය අහනව “කොහෙද ඕක වැටුණෙ?” කියල. එතකොට නස්රුදීන් කියනව “ඒක වැටුණෙ ගේ ඇතුළෙ.” ඊට පස්සෙ අහනව “ඇයි ඉතින් මෙතන හොයන්නෙ?” එතකොට කියනව “නෑ මෙතන තමයි එළිය තියෙන්නෙ” කියල. ඔය කතන්දරේ අහල ඇති වෙනවෙන විදියට. ඔය මම අහපු විදිය. ඉතින් මේ නස්රුදීන්ගෙ ගේ ඇතුළෙයි යතුර වැටුණෙ. එතන අඳුරුයි; හොයන්ට අමාරුයි. ඒත් එළිය තියෙන්නෙ මෙතන හින්ද මිදුලෙ හොයනව.

ඉතින් ඔය වගේ තමයි අපේ මිනිස්සුත්. අද බෞද්ධයො කියන මේ රටේ බොහෝ දෙනා මේ කුණුගොඩ අවුස්සල බලන්ට ඕන. මේ දුක හේතුව, නිරෝධය නැති නම් නිවන, මාර්ගය ඔක්කොම තියෙන්නෙ, මේ චතුරාර්ය සත්‍යයම තියෙන්නෙ මේ බඹයක් තරම් ශරීරය තුළ. අපි දැන් මේකයි අවුස්ස-අවුස්සා බලන්ට ඕන; මේකෙන් මිදෙන්ට නම්, මේකෙන් ගොඩ එන්ට නම්. හැබැයි ඒක අමාරුයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන-එක අමාරුයි නෙ. මේක තේරෙන්නෙ නෑ හරි අමාරුයි. ඒ හින්ද යතුර වැටිච්ච තැන ඒක තියෙද්දී වෙන තැනක හොයනව වගේ තමා. ඉතින් මේක කළ යුතු විදිය අත් හැරල පහසු දේ කරනව ඉතින් ගස්-ගල් වැඳ-වැඳ ඉන්නව. ඔය ගස්-ගල් වන්දනාව ආවෙත් ඔය යම් යම් සංකල්ප, දේව සංකල්ප, ප්‍රතිමා වන්දනා, යම් යම් වස්තූන් වන්දනාව, ධාතු වන්දනා, කියන මේව ආවෙ මොකටද? අර වැඩේ අමාරු හින්ද පහසු දේ කරනව. ඉතින් කැමති අය කරපුදෙන්. මොකද? හැමෝටම සම්මා දිට්ඨිය නෑ නෙ. අපි කලබල වෙන්ට ඕන නෑ. අපි දුක් වෙලා අපට කරන්ට පුළුවන් දෙයක් නෑ.

පුළුවන් නම් අපි ඔක්කොම ගොඩ ගන්නව. ඉතින් බුදු හාමුදුරුවන්ටත් බැරි වෙච්ච එක අපිට කරන්ට බෑ නෙ. ඒත් මම මේක දේශනා කළේ මේක තේරුම් ගන්ට පුළුවන් ඉතා ම සීමිත පිරිසක්, අතළොස්සක් මේ රටේ ඉන්නව: තරුණයො, බුද්ධිමතුන්, උගතුන්. අවාසනාවකට ඒ අයට මේ දහම අහන්ට ලැබෙන්නෙ නෑ අද වෙනකොට. මොකද? මේ මගේ අත්දැකීම. මම දන්නව අප ධර්මය හොයාගෙන යද්දී අපිටත් මේ සැබෑ දහම පිරිසිදුව, පැහැදිලිව කියල දෙන්ට පුළුවන් කෙනෙක් හිටියෙ නෑ. අපි අධෛර්යවත් වුණේ නෑ. මොකක්ද අර පූරුවෙ වාසනාවකට පිනක් තිබුණ හින්ද අපි විවිධ විවිධ අයගෙන් කෑලි කෑලි, පොඩ්ඩ පොඩ්ඩ අහුලගෙන ගිහිල්ල යන්තම් මෙන්න මේක තමයි බුද්ධ දේශනාව කියල අවසාන වශයෙන් අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන්කම ලැබුණ හින්ද මම නිර්භීතවම මේක කියනව.

මොකද මේ වගේ, මම හෙව්ව වගේම අද මේක අද හොයන පිරිසක් විශාල වශයෙන් මේ රටේ ඉන්නව. ඒත් ඔවුන් අද අතරමං වෙලා ඉන්නෙ. ඔවුන්ගේ ඒ ඉල්ලීම නිසා යම් යම් පුද්ගලයො ඉස්සරහට ඇවිල්ල. මෙන්න මේක තමයි දහම් මග කියල විවිධාකාර දේවල් උගන්වන, විවිධාකාර පන්ති පවත්වන, ටියුෂන් පන්ති, දේශන වැනි දේවල් කරගෙන යනව. ඉතින් ඒ හරහා ආයෙත් අතරමං වෙන්නෙ අර බුද්ධිමත්, පින තියෙන කණ්ඩායමමයි. ඒ අයට අනුකම්පාවෙනුයි මම

මේක කියන්නෙ. මොකද? මම මේ දේශනාව කළා කියල, මේ රටේ ඔක්කෝටම මේක ඇහුව කියල ඔය අහන හැමෝටමත් ‘සම්මා දිට්ඨිය’ පහළ වෙන්නෙ නෑ. ‘සම්මා දිට්ඨිය’ පහළ වෙන්ට අවශ්‍ය කරන සාධක තියෙන්න එපායැ? කොච්චර සද්ධර්මය ඇහුවත් අර කියන නුවණ තියෙන්ට ඕනෑ නෙ කල්පනා කරන්ට. අන්න ඒ නුවණ තියෙන සුළු පිරිස වෙනුවෙන් තමයි මම මේ දේශනාව කළේ. කාගෙ හරි හිත රිදුණ නම් මට ඒකට කරන්ට පුළුවන් කිසිම දෙයක් නැහැ. එහෙම චේතනාවක් අපේ නෑ. කාටවත් පහර ගහන්නවත්, රිදවන්නවත් හෙළාදකින්නවත්.

ඒත් අපි මේ සත්‍යය සොයාගෙන යන, දුකට පත් වෙච්ච, යම් තරමක පිනක්, නුවණක් එහෙම නැත් නම් භාවිත සිතක් ඇති, වාසනාවක් ඇති ඉතාම අතළොස්සක්, සීමිත පිරිසක් උදෙසායි මේ දේශනාව කළේ.

මෙයින් ප්‍රයෝජනයක් ගන්නව නම් මේක තමයි කරන්ට පුළුවන් ලොකුම ධර්මපූජාව. මේක තමයි බුද්ධපූජාව. හොඳට මතක තියාගන්ට. මෙන්න මේකයි බුද්ධපූජාව.

නමස්කාර සඟරාව ඇසුරෙනි
www.namaskara.lk - 2015 මාර්තු

බුදුන් වහන්සේගේ ඉගැන්වීම කුමක්ද ?


(මෙය අතිපූජනීය මහනුවර වජිරබුද්ධි යතිවරයාණන් වහන්සේ විසින් ප්‍රායෝගික අත්දැකීම් සහිතව කල දේශනා අඩංගු " ගෞතම බුදුන් වහන්සේ වඳාළ නිවන් මග " පොතින් උපුටා ගන්නා ලද කරුණු ඇතුලත් කෙටි ලිපියකි.)

"බුදුන් වහන්සේ දේශනා කළා ලෝකය දුක් සහිත බවත්, දුක හේතුවකින් හටගත් බවත්, දුක නැති කළ හැකි බවත්, දුක නැති කරන මාර්ගයත් වශයෙන් ආර්‍ය්‍ය සත්‍යය හතරක්. බුදුන් වහන්සේ වඳාළා චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය කොහෙද තියෙන්නේ කියලා. ඔය බඹයක් තරම් වන තමා තුළමයි.
දැන් තමාම රවටගෙන එළියෙ ඉන්න බුදුන්ට වඳින්ට යනවා. එළිය‍ෙ බුදුන් වහන්සේ නෑ. බුද්ධත්වය - බුදුන් වහන්සේ - තමා තුළ, තමාගේ හදවත් තුළ ම ජීවත් වෙනවා, සෑම පුද්ගලයෙක් තුළ ම රහතන් වහන්සේ කෙනෙක් වැඩ වසනවා. ඒ රහතන් වහන්සේ මතු කර ගැනීමයි කළ යුත්තේ. ඒකට කළ යුතු ක්‍රියා මාර්ගයයි චතුරාර්‍ය්‍ය සත්‍යය දේශනාව තුළ තියෙන්නෙ. "


" බුදුන් වඳාළ ධර්මය " මේකට අපට පැහැදිලිවම උත්තර දෙන්න පුළුවන් තැන තමයි, බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා මුලින්ම කළ දේශනාව.
ඒ දේශනාව තමයි අපි කවුරුත් දන්න ධම්ම චක්ක සූත්‍රය. මෙතනින් තමයි අපට මේ උත්තරය සොයා ගන්ට වෙන්නේ. ‍මොකක්ද බුදුන් වහන්සේගේ ඉගැන්වීම කියලා.

බුදුන් වහන්සේ පස්වග තවුසන්ට ධර්මය දේශනා කරන්න පටන් ගෙන, මුලින්ම සත්‍යය හතරක් ගැන කථා කළා. මම මේ කෙටියෙන් කියන්නෙ, මුල් සූත්‍රයේ තියෙන දේ කතන්දරේ වගේ අග මුල ඔක්කොම ගන්නේ නැතිව, අපට වැදගත් වන්නේ දහම් කොටස නිසා.එතකොට බුදුහාමුදුරුවෝ කිව්වේ මොකක්ද ? සත්‍යය හතරක් කිව්වා, උතුම් සත්‍යය හතරක්. අපි ඒකට කියනවා " චතුරායර්‍ය සත්‍යය " කියලා.

පලමුවන සත්‍යය කුමක්ද ? " දුක්ඛ ආර්ය සත්‍යය " මුලින්ම බුදුන් වහන්සේ දුක ගැන විස්තර කළා. ඒ දුක්ඛ සත්‍යය බුදුන් වහන්සේ විස්තර කරනවා කවුරුත් දන්න පාළියෙන් කියන විදියට " ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, පියෙහි විප්පයොගො දුක්ඛො...... " ආදී වශයෙන්. ඒ කියන්නේ ඉපදීම දුකයි, මහලු වීම දුකයි, ලෙඩ වීම දුකයි, මරණය දුකයි, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි, අප්‍රියයන් හා එක්වීමත් දුකයි, කැමති දේ නොලැබෙනවා නම් ඒකත් දුකයි...... මෙන්න මෙහෙම කියාගෙන ගිහින් අන්තිමට කිව්වා...... " සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා " කියලා ඒ කියන්නෙ " කොටින්ම කියනවා නම් මේ පඤ්ච උපාදානස්කන්ධයම තමයි දුක " කියල උන් වහන්සේ කිව්වා.

ඉතින්, මේ දේශනාව හරිම වැදගත්. අපි අහගෙන ඉන්නකොට අපි දන්නවා අද නූතන අධ්‍යාපන ලෝකය දිහා බලනකොට අපි යමක් ඉගෙන ගන්නේ හුඟාක් වෙලාවට දන්නා දේ හරහා නොදන්නා දේ කරා යනවා කියලා කවුරුත් අහලා ඇති උන් වහන්සේ තමයි ලෝකයේ මුලින්ම මේ ක්‍රමය පාවිච්චි කළේ.

මේ කියපු දුක් වලින් එහා දුකක් ලෝකේ කාටවත් හිතාගන්නවත් බෑ ඉපදීමෙන් පටන් අරගෙන අවසානය දක්වා කියාගෙන ගිය දුක් ගොඩ කවුරුත් දන්නවා. මේ භවයේදීම, මේ ජීවිතයේදීම හැමදෙනාම මේ දුක අත් විඳිනවා, ඒ ගැන කියන්න තමයි බුදුහාමුදුරුවෝ මේ ටික පාවිච්චි කළේ.

නමුත් බුදුවරු පහල වෙන්නේ මේ දුක ගැන කියන්න නම් නෙවෙයි. මෙයින් එහා දෙයක් තියෙනවා. ඒ තමයි බුදුන් වහන්සේ කිව්වේ අර සංඛිත්තෙන පඤ්චඋපාධානස්කන්ධා දුක්ඛා කියලා...... මේ පඤ්චඋපාධානස්කන්ධ කියන දුක මුලින්ම දැන ගත්තේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වෙච්ච වෙලාවේ. මෙන්න මේක තමයි උන් වහන්සේ අවබෝධ කරගත් විශිෂ්ඨ ධර්මය.

මෙන්න මේ පඤ්චඋපාධානස්කන්ධ දුක දැන ගැනීම කරන විදිහ තමයි බුදුන් වහන්සේ අපට දේශනා කළේ. ප්‍රධාන දුක පඤ්චඋපාධානස්කන්ධ දුක තමයි මෙතන තියෙන දාර්ශනික අර්ථය. බුදුවරු පහළ වෙන්නේ මේක කියන්ටයි.මේක තමයි උන් වහන්සේලා සොයා ගත් පරම සත්‍යය.

මේ දුක ඉබේ හටගත් දෙයක් නෙවෙයි. කවුරුවත් මවපු එකකුත් නෙවෙයි. මේ දුක හේතුවක ඵලයක්. මේ දුක හටගත්තේ කිසියම් හේතුවක් නිසා කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. අන්න ඒ හේතුව වශයෙන් දේශනා කළා.
"දුක්ඛ සමුදය ආර්ය සත්‍යය " කියන එක. මොකක්ද ඒ දුකට හේතුව ? මේ කියන දුක හටගත් හේතුව තමයි " තණ්හාව. "

තණ්හාව කීවාම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ තණ්හාව තුනක් වශයෙන්, ඒ කියන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා.

මනුෂ්‍යයා තුල ආයතන හයක් තියෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා. මේ ආයතන හය හරහා බාහිර ලෝකයෙන් එයට අදාල අරමුණු, ඒ කියන්නේ ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට ස්පර්ශය, මනසට සිතිවිලි වශයෙන්. මෙන්න මේ අරමුණු අරගෙන විඳින එක, සැපයි කියල ආශ්වාද කරන එක තමයි මිනිසුන් කරන්නේ. මේකට තියෙන ආශාව නැත්නම් මේකට තියෙන තණ්හාව තමයි බුදුහාමුදුරුවෝ අදහස් කළේ කාම තණ්හා කියලා.

භව තණ්හා කියන්නේ යළි යළිත් නැවත නැවතත් ඉපදෙන්න තියෙන ආශාව.

විභව තණ්හා කියන්නේ නැවත නැවත ඉපදෙන්නේ නෑ, මෙතනින් අවසානයි, ඉන්න කල් සැප විඳළ මැරිල යන්න ඕන කියන චේතනාව.

තුන්වන ආර්ය සත්‍යය තමයි, දුක නැති කිරීම, දුකෙන් මිදෙන තැන, දුකින් මිදීම, මොකක්ද කරන්න ඕන දුකෙන් මිදෙන්න නම්........? දුකින් ම්දීම කියලා කියනනේ මොකක්ද ? මේ තණ්හාව අවසාන කිරීම, නිරවශේෂ නිරෝධය, කිසිම ඉතිරියක් නැතිව, මේ තණ්හාව මුලුමනින්ම නැති කරල දැම්මා නම්, එදාට මේ දුක ඉවරයි. ඒක තමා " දුක්ඛ නිරෝධ සත්‍යය " තණ්හාවේ කෙළවර. තණ්හාව අවසාන කිරීම.

ඊළඟට බුදුහාමුදුරුවෝ කිව්වා මේ තණ්හාව කෙළවර කරන ක්‍රමයක් තියෙනවා. අපිට ඕන ඕන විදිහට කරන්න බෑ. ඒ ක්‍රමය තමයි " දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය " කියල බුදුහාමුදුරුවෝ දේශනා කළා.
කොහොමද මේ දුක නැති කරන්නේ. අංග අටකින් යුක්ත ක්‍රියා මාර්ගයක් ප්‍රතිපදාවක් තියෙනවා. ඒක පුරපුවාම මේ දුක අවසාන වෙනවා. නිරෝධයට පත්වෙනවා. මොකක්ද මේ අංග අටකින් යුක්ත මාර්ගය කියල කියන්නේ.....

සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි.

මොකක්ද " සම්මා දිට්ඨිය " කියල කියන්නේ ?
දුක්ඛේ ඤාණං - දුක පිළිබඳ දැනීම අවබෝධය, ඊළඟට දුක්ඛ සමුදයේ ඤාණං - දුකට හේතුව මොකක්ද කියල ඒ පිළිබඳ ඇති කර ගන්නා දැනුම, ආරම්භක වශයෙන් ඇති කර ගන්නා දැනුම, දුක්ඛ නිරෝධෙ ඤාණං - දුක නැතිකර ගැනීම පිළිබඳ දැනුම, ඊළඟට දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාය ඤාණං - දුක නැති කරන මාර්ගය පිළිබඳ දැනුම. එහෙමනම් ඉතාම පැහැදිලියි සම්මා දිට්ඨිය කියන්නේ චතුරායර්‍ය සත්‍යමයි. චතුරායර්‍ය සත්‍යය පිළිබඳ දැනුමම තමා සම්මා දිට්ඨිය කියන්නේ.

සම්මා දිට්ඨිය තමයි ප්‍රධානම සාධකය බෞද්ධයෙක් වීමට. මොකද ඒ සම්මා දිට්ඨිය තියෙන්නේ බුද්ධ දේශනාව තුල පමණයි.

ඊළඟ මාර්ග අංගය සම්මා සංකප්ප. මොකක්ද සම්මා සංකප්ප - නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා

මොනවාද නෙක්ඛම්ම සංකල්පනා කියන්නේ.......?
අපි ජීවත් වෙනවා කියලා මොකද කරන්නේ ? ඇස පිනවනවා, කන පිනවනවා, නාසය පිනවනවා, දිව පිනවනවා, ..... සැප විඳිනවා කියලා අපි කරන්නේ, මෙන්න මේ ඉන්ද්‍රිය පිනවීම. මෙන්න මේ ඉන්ද්‍රිය පිනවන එකේ තමයි අපේ චේතනාව තියෙන්නේ. මේවාට කියනවා කාම සංකල්පනා කියලා.

සාමාන්‍ය රටේ ලෝකේ ජනතාව ඉන්නේ මේ කාම සංකල්පනාවල. හැම වෙලාවෙම හිත තියෙන්නේ කාම විතර්කවල. අපි මෙච්චර කල් මොනවද කළේ.....? කාම සංකල්පනාවල ඉඳගෙන මේ ඉන්ද්‍රිය පිනවන්න අවශ්‍ය කරන සම්පත් සොයන එක, උපයන එක, රැස් කරන එක, ගොඩ කරන එක.
කාම සම්පත් හරි සීමිතයි. මේවා එකතු කරන්න රැස් කරන්න යනකොට අපේ අතින් නිතැතින්ම සිදුවෙනවා විහිංසා ව්‍යාපාද දෙක.

මේ දුකට හේතුව කාමනෙ. එහෙම නම්, අපි තීරණය කරනවා මේ කාම සංකල්පනාවන්ගෙන් මිදෙන්න. ඒකට කියනවා නෙක්ඛම්ම සංකල්පනා කියලා. අපි නෙක්ඛම්ම සංකල්පනා ඇති කර ගන්න කොට, කාමයන්ගෙන් මිදෙනවා කියල හිතනකොට මොකද වෙන්නේ......., ව්‍යාපාද විහිංසා වෙනුවට අව්‍යාපාද අවිහිංසා සංකල්පනා ඇති කර ගන්නවා.

කාමයන්ගෙන් මිදීමට නම් කරන්න ඕන ප්‍රධානම කාර්යය තමයි දානය. දීම, පරිත්‍යාගය, අතහැරීම. මේ දුකට හේතුව තණ්හාව නම්, රැස් කිරීම නම්, දුකෙන් මිදෙන්නට අපි අත්හැරීම පුරුදු කරන්න ඕන. කරුණා මෛත්‍රී සිත දියුණු කරගන්න ඕන.

ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන අංග තුනම එකටම වගේ ක්‍රියාත්මක කරන්න ඕන. මොනවාද මේවා......? මේ තුන අයිති වන්නේ සීලයට. එතකොට සීලය කියල කියන්නේ මොකක්ද ? සංවරය, හික්මීම. සංවර කර ගන්න ඕන අපි කය සහ වචනය කියන දෙක.

අපේ වචනය අසංවර වෙලා තියෙනවා කරුණු හතරකින්. බොරු කීම, කේළම් කීම, පරුෂ වචන කීම සහ හිස් වචන කීම. මේවායින් වැළකුණා නම් සම්මා වාචා.

සම්මා කම්මන්ත කියල කිව්වේ, ශරීරය පාවිච්චි කරල කරන අකුසල කර්ම තුනට. පරපන නැසීම, නුදුන් දේ ගැනීම, සහ පරදාර සේවනය, ඔය තුනෙන් වැළකුණා නම් කය සංවරයි.

සම්මා ආජීව කියල කියන්නේ මිත්‍යා ආජීවයෙන් වැලකීම. එතකොට මිත්‍යා ආජීවය කියල කියන්නේ මොකක්ද ? සරලව ගත්තොත් කියන්ට තියෙන්නේ මිනිස්සු ජීවත්වීම සඳහා කරන සට කපටකම්, කපටිකම් අන්න ඒවායින් වළකින්න ඕන. බොහොම ධාර්මිකව කපටිකමින් තොරව අවංක ඍජු ජීවන ප්‍රතිපදාවක් තියෙන්න ඕන

ඔය ටික කරගත්තු කෙනා තමයි ඊළඟට සමාධි ස්කන්ධයට, භාවනාවට යන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ මොනවද මේ භාවනාව කියල කිව්වේ. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි.

මොකක්ද මේ සම්මා වායාම කියන්නේ....., බුදුහාමුදුරුවෝ කිව්වා සම්මා වායාම කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යයට කියලා. මොකක්ද සතර සම්‍යක් ප්‍රධාන වීර්යය කියන්නේ......,
උපන් අකුසල් ප්‍රහාණය කිරීම
නූපන් අකුසල් නූපදවීම
උපන් කුසල් රැක ගැනීම
නූපන් කුසල් උපදවා ගැනීම
මොනවාද මේ කුසල් අකුසල් කියන්නේ...., මෙතන අකුසල් කියන්නේ නීවරණ වලට. නීවරණ කියල ජාතියක් හිතේ තියෙනවා. සෑම කෙනෙක්ගේම සිත ප්‍රභාශ්වරයි, බැබළෙනවා. ඉතාම ශක්තිමත් හිතක් තියෙන්නේ. මැණික් ගලක් වගේ ඉතාම ප්‍රභාශ්වරයි. නමුත් බාහිරින් ආපු අකුසල් නිසා අකුසල දහම් නිසා ඒ ප්‍රභාශ්වරය නැතිවෙලා ගිහිල්ලා තියෙනවා. හරියට අර මැණික් ගලේ දූවිලි බැඳිල වගේ. අන්න එහෙම හිතේ තියෙන ප්‍රභාශ්වරය වැහිල ගිය කරුණු පහක් තියෙනවා. ප්‍රභාශ්වරය වහන නිසා ඒකටයි නීවරණ කියල කියන්නේ. අන්න ඒ නීවරණ පහක් තියෙනවා. අන්න ඒ නීවරණ තමයි බුදුහාමුදුරුවෝ මෙතන අදහස් කළේ. අකුසල් කියලා. බුදුහාමුදුරුවෝ එක සූත්‍රයක කියනවා අකුසල් කියන්නේ, නීවරණ කියන්නේ, කෙ‍ළෙස් කියන්නේ මොනවද ? මෙන්න මේ පහට. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච - කුක්කුච්ච, විචිකිච්ඡා.

කාමච්ඡන්ද කියල කිව්වෙ ඇස කණ නාසය ආදී දොරටු ද්වාර වලින් අරමුණු අරගෙන ආශ්වාද කරන්නට තියෙන ආශාව, ඉන්ද්‍රිය පිනවන්ට තියෙන ආශාව

ඊළඟ දේ තමයි ව්‍යාපාදය. ප්‍රිය අරමුණු හැමවිටම ලැබෙන්නේ නෑ. ප්‍රිය අරමුණේ ඇලෙනවා. අප්‍රිය අරමුණේ ගැටෙනවා. අන්න ව්‍යාපාදය හටගන්නවා. තරහව, ඒකට කිව්ව ව්‍යාපාදය කියලා.

තුන්වන එක මොකක්ද ? ථීනමිද්ධ කියල කිව්වෙ. සිතේ සහ කයේ තියෙන කම්මැලිකම, මැළි බව, අලස ස්වභාවය. හැබැයි අකුසල් කරන්න එහෙම නෙවෙයි. කුසල් දහම්හි යෙදෙන්ටයි කම්මැලි.

හතරවෙනි එක තමයි උද්ධච්ච - කුක්කුච්ච
මෙතන උද්ධච්ඡ සහ කුක්කුච්ච කියල නීවරණ දෙකක් තියෙනවා. උද්ධච්ච කියල කියන්නේ හිතේ තියෙන නොසන්සුන් බව, විසිරුන ස්වභාවයට. කුක්කුච්ච කියල කිව්වේ. සෝවාන් වෙලා නැති සියලු පෘථග්ජනයන් තුළ අනිවාර්යයෙන්ම තියෙනවා තමා කරපු අකුසල කර්ම පිළිබඳ හිතේ තැවෙන ස්වභාවයක්. ඒ වගේම කුසල් කරන්න අවස්ථා ලැබුන වෙලාවල් වලදී නොකර ඉඳලා පසුව ඒ ගැන දුක් වෙනවා මේක තමයි කුක්කුච්ච කිව්වේ. කළ අකුසල් පිළිබඳ තැවෙන ස්වභාවය සහ නොකළ කුසල් පිළිබඳ තැවෙන ස්වභාවය.

පස්වෙනි එක තමයි විචිකිච්ඡාව. බුදුන් වහන්සේ පිළිබඳව, ධර්මය පිළිබඳව, ආර්ය මහා සංඝරත්නය පිළිබඳව, පරලොව පිළිබඳව, සුගතිය දුගතිය ආදී විවිධ දේවල් පිළිබඳව සැකයි. මේවා නුවණින් දකින්න ඕන දේවල්. ඉතින් හැම දෙයක් කෙරෙහිම සැක කරන ස්වභාවයක් තියෙනවා. මෙන්න මේක තමයි විචිකිච්ඡාව.

ඊළඟට බලමු කුසල් කියන්නේ මොනවාද කියලා. අභාවිත සිතක, භාවනා කරන්නේ නැති සිතක හැම වෙලාවෙම නීවරණ පහ තියෙනවා. ඒවා එක එකක් අඩු වැඩි වශයෙන් තියෙනවා. කාමච්ඡන්දය තියෙන වෙලාවට ඒක උපන් අකුසලයක්. ඒ වෙලාවට ව්‍යාපාදය නෑ. එතකොට ව්‍යාපාදය ඒ වෙලාවට නූපන් අකුසලයක්. දැන් සමථ භාවනාව කරගෙන යනකොට මේවා යටපත් වෙනවා. පඤ්ච නීවරණ යටපත් වෙනකොට මතුවෙනවා හිතේ ප්‍රභාශ්වරය. ප්‍රභාශ්වර සිතක තියෙනවා ධ්‍යාන අංග.ඒවා තමයි විතක්ක, විචාර, ප්‍රීති, සුඛ .ඒකාග්ගතා.

ප්‍රථම ධ්‍යානය තුල තියෙනවා ඔය අංග පහම. විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්ගතා කියන ධ්‍යාන අංග පහම. දුතිය ධ්‍යානයට යනකොට විතක්ක විචාර දෙක නෑ. ප්‍රීති, සුඛ, ඒකාග්ගතා පමණයි. ඊට පස්සෙ තෘතිය ධ්‍යානයට යනවා. එතෙන්දි ප්‍රීතියත් අතහරිනවා. අන්තිමට ඉතිරි වෙන්නේ ඒකාග්‍රතාව පමණයි.

මෙන්න මේ ධ්‍යාන තමයි කුසල් කියල කිව්වේ. එතකොට නීවරණ යටපත් කරල ධ්‍යාන සිත් ඇති කර ගැනීම තමයි සතර සම්‍යක් ප්‍රධාන වීර්යය කියල ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මා වායාම කියන්නේ.

අකුසල් යටපත් කරල කුසල් මතුකර ගත්තාම ප්‍රභාශ්වර සිත. අන්න ඒ සිතට පුළුවන් ලෝකෙ තියෙන ඕනෑම ගැඹුරු ධර්මතාවයකට මේ සිත යොමු කරන්න. අන්න ඒ සිත තමයි අපි යොමු කරන්නේ සම්මා සතියට.

එතකොට සම්මා සතිය කියන්නේ මොකක්ද ? සිහිය පිහිටුවන්න ඕන තැන.
කොහේද සිහිය පිහිටුවන්නේ..... සතර සතිපට්ඨානය තුල. සිහිය පිහිටුවන තැන් හතරක් තියෙනවා. කය පිළිබඳව, වේදනා පිළිබඳව, සිත පිළිබඳව සහ ධම්ම පිළිබඳව. එතකොට මේ සතර සතිපට්ඨානය තමයි, ඒක වඩන එක තමයි සම්මා සති කියල කියන්නේ.

බුදුවරු පහළ වෙන්නේ ලෝකෙට සතර සතිපට්ඨානය කියල දෙන්න. බුද්ධ දේශනාවේ, බුදුන් වහන්සේගේ ඉගැන්වීමේ හරය අරටුව මොකක්ද ? මෙන්න මේ සතර සතිපට්ඨාන භාවනාව. මේ සතර සතිපට්ඨාන භාවනාව වැඩුවොත් විතරයි නිවනට යන්න පුළුවන්. දුකින් මිදෙන්නට පුළුවන්.

අනෙකුත් ආගම්වල සතර සතිපට්ඨානය හැර අනෙකුත් සියලු දේවල් තියෙනවා. අනෙකුත් ආගමිකයෝත් දන් දෙනවා. අනෙක් ආගම් වලත් සීලය තියෙනවා. භාවනා තියෙනවා. නමුත් ඒවා ලෞකිකයි. ඒවාත් අනිත්‍යයි. දුක්ඛයි. අනාත්මයි. ඒවාත් ලෝකෙට අයිතියි. ඒවා පරම සත්‍යය නෙවෙයි. එහෙම නම් පරම සත්‍යය හොයන භාවනාවක් දැන ගන්න ඕන. මොකක්ද ඒක.....? ඒක සොයා ගන්න තමයි බුදුහාමුදුරුවෝ අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කළේ. මොකක්ද සොයා ගත්තේ......? මෙන්න මේ කියන සතරසතිපට්ඨාන භාවනාවටයි ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මා සති කියල කිව්වේ.

සතිපට්ඨානය වඩන්නට අපට උවමනා කරනවා ප්‍රධාන සාධක හතරක්. වීර්යය, නුවණ, සිහිය සහ උපේක්ෂාව. උපේක්ෂාව කියන්නෙ මධ්‍යස්ථ බව, ඇලීමෙන් ගැටීමෙන් තොරයි කියන එක. එළඹ සිටි සිහිය. මිනිසුන්ගේ සිත් හැම වෙලාවෙම තියෙන්නෙ අතීතයේ, නැත්නම් අනාගතයේ. මේ අතීතය මියගිය දෙයක්. අනාගතය නූපන් දෙයක්, අතීතය මැරිලා අනාගතය ඉපදිලා නෑ. එහෙමනම් සිත වර්ථමානයට ගේන්න ඕනේ. ඒකට කියනවා එළඹ සිටි සිහිය කියලා.

සමථයෙන් තොර විදර්ශනාවක් නෑ. සමථයට තමයි සම්මා වායාම කිව්වේ. විදර්ශනාවම තමයි සතරසතිපට්ඨානය කියන්නේ.

සම්මා සතිය වඩනකොට මොකද වෙන්නේ...?
කය පිළිබඳ කයේ යථා ස්වරූපය පිළිබඳව අපි බලනවා. වීර්යයෙන් නුවණින් හා සිහියෙන්, ඇලීමෙන් හා ගැටීමෙන් තොරව

වේදනාව පිළිබඳව බලනව අපි, ඇලෙන්නෙ ගැටෙන්නෙ නැතිව වීර්යයෙන්, නුවණින් සහ සිහියෙන්,

ඊළඟට සිත පිළිබඳ අපි බලනවා, සිතේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතිව, වීර්යයෙන්, නුවණින් සහ සිහියෙන්,

ඊළඟට ධම්ම. සිතට මනසට ගෝචර වන දේවල් ධම්ම දිහා අපි බලනවා ඇලෙන්නේ ගැටෙන්නේ නැතිව, වීර්යයෙන්, නුවණින් සහ සිහියෙන්.

ඔන්න සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානයේ සිහිය දිගින් දිගටම පවත්වාගෙන යන කොට මොකද වෙන්නේ, පඤ්චඋපාධාන ස්කන්ධ ‍ලෝකය ඇතිවෙමින් නැතිවෙමින් යන හැටි දකින්ට පටන් ගන්නවා

කයේ තියෙන සියලු රූප ඇති වෙනවා, නැතිවෙනවා ක්ෂණයක් ක්ෂණයක් පාසා, රූප මිටි වශයෙන් කලාප වශයෙන් ඇතිවෙනවා, නැති වෙනවා දකින්න පටන් ගන්නවා.

සිත මොහොතින් ‍මො‍හොත අහස වගේ වෙනස් වෙවී වෙනස් වෙවී යන හැටි දකිනවා. විවිධ සිත් පහළ වෙනවා, අතුරුදහන් වෙනවා දකිනවා.

වේදනා සියලු විඳීම් සැප වේදනා දුක් වේදනා ඇති වෙවී නැති වෙවී යන හැටි දකින්න පටන් ගන්නවා. පඤ්ච නීවරණ,ස්කන්ධ ආයතන ක්‍රියාකාරකම් දකින්න පටන් ගන්නවා. මෙන්න මේ දකින්නෙ මොනවාද ? ඇතිවීම නැතිවීම. ඒ කිව්වේ අනිත්‍ය. මේ අනිත්‍ය දකිනකොට නිත්‍යයි සුඛයි කියල අල්ලගෙන හිටපු හිතට මේ පඤ්ච උපාධානස්කන්ධය අල්ලන් ඉන්න බැරුව යනවා. අතහරින්න පටන් ගන්නවා.

ඊට පස්සෙ ඒ හරහා ආධ්‍යාත්මික වශයෙන් මහා ක්‍රියාකාරිත්වයක් සිද්ධ වෙනවා. මේ ක්‍රියාකාරිත්වය හරහා, මේ සිදුවන ක්‍රියාවලිය හරහා වැඩෙනවා සමාධියක්. අනන ඒකට කිව්වා සම්මා සමාධිය කියලා.

බොජ්ඣංග වඩනවා කියල කියන්නෙ මේකමයි. සති සම්බොජ්ඣංගය වඩනවා. සතර සතිපට්ඨානය පිළිබඳ සිහිය ධම්ම විචය, සතිය වැඩෙන කොට, සතර සතිපට්ඨානයේම සිහිය වඩාගෙන යනකොට, සිහිය රදවාගෙන යනකොට, ධම්ම විචය වැඩෙන්නට පටන් ගන්නවා. ධම්ම විචය කියන්නේ අනිත්‍ය දකින්න පටන් ගන්නවා. දුක අනාත්මය දකින්න පටන් ගන්නවා.

ඊළඟට වීර්යය සම්බොජ්ඣංගය, වීර්යයක් මහා වීර්යයක් වැඩෙනවා මේවා දකිනකොට. ලෝකයේ කවදාවත් නොදැකපු ඇත්ත දකිනකොට.

ප්‍රීතියක් මහා ප්‍රීතියක්, සතුටක් දැනෙනවා සිතට. ඊළඟට පස්සද්ධි මහා සැහැල්ලුවක්, කයත් සැහැල්ලුයි සිතත් සැහැල්ලුයි. අහසේ ඉන්නවා වගේ. බඩගිනි දැනෙන්නේ නෑ. එහේ මෙහේ රට වටේ ඇවිදින්න දුවන්න හිතෙන්නෙ නෑ. අරමුණු මොනවත් එන්නේ නෑ. පුදුම සැහැල්ලුවකින් ජීවත් වෙනවා.

ඊළඟට සමාධියක් වැඩෙනවා, ඒ තුළ මහා විශාල සමාධියක්, චිත්ත ඒකාග්‍රතාවයක්. චිත්ත ඒකාග්‍රතාවය ඇති වන්නේ සතිපට්ඨානය මතමයි රැදෙන්නේ. මෙන්න මේ සමාධිය යනවා ඊළඟට උ‍පේක්ෂාවට. මෙන්න මේ උපේක්ෂාව ඊට පස්සෙ යනවා විමුක්තියට.

මුල් වරට විමුක්තිය ලබනවා. විමුක්ති සිත පහළ වෙනවා. ඒකට කියනවා " සෝතාපන්න " කියලා.සෝවාන් ඵලයට පත්වුනා කියලා. සෝවාන් ඵලයට පත්වෙනකොට මේ ලෝකයේ සත්වයින් සසරට බැඳ තබන රැහැන් දහයක් තියෙනවා. ඒවාට කිව්වා සංයෝජන කියලා. පළවෙනි වරට ලෝකෝත්තර සිත පහළ වෙනකොට අන්න ඒ සංයෝජන දහයෙන් තුනක් නැතිව යනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස.

ඒ වෙලාවෙ කය පිළිබඳව ආත්ම දිට්ඨිය නැතිව යනවා. ආත්ම දිට්ඨිය බිඳෙනවා.ඊළඟට විචිකිච්ඡාව බුද්ධ ධම්ම සංඝ කෙරේ සැකයක් නෑ. මුල් වරට සිත මිදුනා කියලා කියන්නේ නිවන දැක්කා. ඒ හින්ද නිවන ගැන සැකයක් මාර්ගය පිළිබඳ සැකයක් නෑ. ආර්ය සංඝයා කෙරෙහි සැකයක් නෑ. සෝවාන් කියන්නේ ආර්ය පුද්ගලයන්ගෙන් එක් කෙනෙක්. එයා ළඟ සීලබ්බත පරාමාස නෑ. එයා ආයෙ කවදාවත් වෙන වෙන ඇඳහිලි, පුඳ පූජා පස්සේ යන්නේ නෑ. ඔහු ආයේ කවදාවත් නිරයට යන්නේ නෑ. තව දුක තියෙනවා. වැඩිම වුනොත් භව හතකට. එතැන් සිට ඒ භව හත තුල රහත් වෙනවාමයි.

මේ ආත්මෙම එයා යළිත් සතර සතිපට්ඨානය වඩාගෙන ගියාම නැවත වරක් ඔහු අර විදියටම සමාධිය වඩල, බොජ්ඣංග වඩල දෙවන වරටත් සිත මිදෙනවා. එ් මිදෙන කොට අර දස සංයෝජන වලින් ඊළඟට තියෙන කාමරාග, පටිඝ කියන සංයෝජන දෙකෙන් සියයට පනහක් නැතිව යනවා. සම්පූර්ණයෙන්ම නෙවෙයි භාගයක් නැතිව යනව. ඉතිරි කෙළෙස් බලවත් වෙන්නේ එතැන් සිට කාම ලෝකයේ තව එක ආත්මයක් ඉපදීම සඳහා පමණයි.

තවත් සැරයක් එයා ආයෙමත් භාවනා කරගෙන ගියොත්, ඒ වෙලාවෙම ඒ මොහොතේම, පැය කීපයක් තුල, දවසක් දෙකක් තුල, විනාඩි කීපයක් තුල ඊළඟ ඵලයට පත්වෙනවා. කාමරාග පටිඝ කියන දෙක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. සංයෝජන දෙක නැතිව යනවා. ඔහු ආයේ කවදාවත් මනුෂ්‍ය ලෝකෙවත්, දිව්‍යලෝකෙවත් උත්පත්තිය ලබන්නේ නෑ. ඔහු අනාගාමියි. ඔහු උපදින්නේ ශුද්ධාවාස කියන බ්‍රහ්ම ලෝකේ.

ඊළඟට තව සංයෝජන පහක් තියෙනවා. රූප රාග, අරූප රාග, මාන උද්ධච්ඡ, අවිජ්ජා කියල ඉතාම සියුම් සංයෝජන පහක්. ඉතින්, යළිත් අර විදියටම සතර සතිපට්ඨානය වඩාගෙන යනකොට,ඔය කීව කෙළෙස්, ඊළඟට ඉතිරිව තිබුණු අන්තිම කෙළෙස් ටිකත් විනාශ වෙලා හතරවෙනි වරටත් නිවන දකිනවා. අන්න ඒක තමයි සැබෑ විමුක්තිය. අන්න ඒක තමයි අරහත් කියල කියන්නේ. දැන් සංයෝජන දහයම ඉවරයි. ඔහු අායෙත් උත්පත්ති වශයෙන්, කිසිම තැනක උපතක් ලබන්නේ නෑ. එයාට තමා අපි නිවන් දැක්කා කියල කියන්නේ. එයාට තමයි රහතන් වහනසේ කියල කියන්නෙ

මෙන්න මේක තමයි නිවන් මග. මේක තමයි බුදුන් වහන්සේගේ ඉගැන්වීම. බුදුන් වහන්සේගේ දේශනාව. බුදුවරු පහළ වෙන්නෙ මේක කියන්නයි.

බෞද්ධයා කියන්නේ කවුද ?


(මෙය අතිපූජනීය මහනුවර වජිරබුද්ධි යතිවරයාණන් වහන්සේ ගේ දේශනා ආශ්‍රයෙන් ලියූ කෙටි ලිපියකි.)

බෞද්ධයා කියන්නේ සම්මා දිට්ඨිය තියෙන කෙනාට. ඔහු චතුරාර්ය සත්‍ය දන්නවා. දුක, දුකට හේතුව, දුක නැති කිරීම සහ දුක නැති කරන මාර්ගය ගැන ඔහුට දැනීමක් තියෙතවා. මේ දුකට හේතුව තමයි තණ්හාව, තණ්හාව නැති කළාම නිවන. මේ සඳහා ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන, නිවන් දකින්න වීර්යය කරන කෙනා තමයි බෞද්ධයෙක් වෙන්නේ.

ව්‍යාපාදයෙන් තොර වූ අහිංසාවාදී සිතිවිලි ඇති ඔහු සිල්වත්. ආවාට ගියාට වචන පාවිච්චි නොකරන්නෙක්. වචනය සංවරයි. සත්‍යය කතා කරයි. යමක් කරල කලේ නෑ කියල කියන්නේ නෑ. සමාජයට හිතකාමියි. සමාජය භේද බින්න වන ආකාරයේ දේ නොකරයි. කේළම් නොකියයි. හැම විටම ප්‍රිය වචනයෙන් සංග්‍රහ කරයි. අන් අයගේ සිත්වල සන්සුන් බව නැතිවන ආකාරයේ පරුෂ වචන නොකියයි. බෞද්ධයා, කාලය එහි වටිනාකම හොඳින් හඳුනයි. අනුන් ගැන නොසොයයි.තමන් ගැන සොයයි. හිස් වචන නොදොඬයි.

බෞද්ධයා තමන්ගේ ජීවිතය වගේම අන් අයගේ ජීවිතද රකියි. ස්වභාව ධර්මයට ආදරය කරයි. ඕනෑම ලොකු කුඩා සත්වයකුට මේ ලෝකයේ ජීවත් වන්නට අයිතියක් ඇති බව ඔහු දනී. එනිසාම ප්‍රාණඝාතයෙන් වැළකී දිවි ගෙවයි.

බෞද්ධ යැයි කියන කෙනා හැමවිටම අන් අයගේ යහපත ප්‍රාර්ථනා කරයි. දීමට දිඟුකල දෑත් ඇතිව ජීවත් වන කෙනෙක්. දියුණුව පිණිසම කටයුතු කරයි. අන් සතු දෙයට ඇලුම් නොකරයි. ලද දෙයින් සතුටු වෙයි. රැකියා ස්ථානවලදී පවා සේවා කොන්දේසි කඩ නොකරයි. නීති විරෝධී අල්ලස් ගැනීම්, කොමිස් ගැනීම, නිකරුනේ දවස ගෙවා දමා මාසික වැටුප ලබා ගැනීම ආදී දේ නොකරයි.එනම් සොරකම කොල්ලකෑම වැනි දේ වලට සම්බන්ධ නොවෙයි.

සාමකාමී පවුල් ජීවිතයක් ගත කරන බෞද්ධ අඔු සැමියන් සුභවාදී ආකල්ප දරයි. එකිනෙකා විශ්වාසයෙන් කටයුතු කරයි. ඒ නිසා පරදාර සේවනයේ නොයෙදෙයි.

බෞද්ධයා හැමවිටම ප්‍රතිපත්ති ගරුකයි. සෟජුයි. අවංකයි. ජීවත්වීම සඳහා කපටිකම් නොකරයි.

මිත්‍යා බලවේග, පුද පූජා, නොපෙනෙන දෙවියන්ගේ පිහිට නොසොයයි. තම නුවණින් විමසා බලා කටයුතු කරයි.

මේ ආකාරයට ජීවිතය හැඩගසාගත් බෞද්ධයාගේ අරමුණ වන්නේ සසර දුක කෙළවර කිරීමයි. ඔහු ඒ සඳහා වීර්ය වඩයි. සමථ විපස්සනා භාවනා වෙත සිත යොමු කරයි.

එහෙමනම්, ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියල කියන්නෙ මොකක්ද, නිවන් දකින වැඩසහන, දුකින් මිදෙන වැඩ පිළිවෙල.

මේ තුල තම ජීවිතය පවත්වා ගන්නා කෙනා තමයි නියම බෞද්ධයෙක් වන්නේ.

දානය කියන්නේ දීම - අතහැරීම - පරිත්‍යාගය


(මෙය අතිපූජනීය මහනුවර වජිරබුද්ධි යතිවරයාණන් වහන්සේ ගේ දේශනා ආශ්‍රයෙන් ලියූ කෙටි ලිපියකි.)

දානය කියන්නේ දීම - අතහැරීම - පරිත්‍යාගය. බෞද්ධ අය විතරද දන් දෙන්නේ .......? නෑ. ක්‍රිස්තියානි, හින්දු ,ඉස්ලාම් කවුරුත් දන් දෙනවා. ඒ අය දන් දෙන්නේ සුගති සම්පත්, දිව්‍යලෝක සම්පත් වගේ දේවල් අරමුණු කරගෙන. ඒක ලෞකික සැපයට අයත්.

බෞද්ධයාගේ දන්දීම කියන්නේ එයට වෙනස් දෙයක්. මොකද අනෙක් ශාස්තෘවරුන් නිත්‍යයි, සුඛයි, ආත්මයි කියපු ලෝකය බුදුහාමුදුරුවෝ කිව්වා අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා. එහෙම නම්, බෞද්ධයා දන් දිය යුත්තේ, අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකයෙන් මිදීම සඳහා. එතැන ලෝභ සිතක් නෑ. පිරිසිදු සිතක් තියෙන්නේ.

මොනවාද අපට දන් දෙන්න පුළුවන්.......? බඩගින්නේ ඉන්න අයට ආහාර දෙන්න පුළුවන්. ඇඳුම් නැති අයට ඇඳුම් දෙන්න පුළුවන්. දුප්පත් නැති බැරි ළමයෙකුට පොතක්. පෑනක්. පැන්සලක්. සපත්තු කුට්ටමක් වගේ දෙයක් අරන් දෙන්න පුළුවන්. ගවුමක්, කමිසයක්, කලිසමක් මහලා දෙන්න පුළුවන්. අසනීපයෙන් ඉන්න කෙනෙකුට බෙහෙත් දෙන්න පුළුවන්, උපස්ථාන කරන්න පුළුවන්. නිවසක් නැති කෙනෙකුට නිවසක් තනා දෙන්න පුළුවන්. මේවාට කියනවා ආමිස දාන කියලා.

දුකට භියට පත්වුන කෙනෙකු ළඟට ගිහින්, වචනයකින් දෙකකින් පුළුවන් නම්, ඔහුගේ දුක භිය සමනය කරන්න " බය වෙන්න එපා, අපි ඕන දෙයකට ඔබ ළඟ ඉන්නවා, අපි ඔබට පිහිට වෙනවා කියලා" ඒකට කියනවා අභය දානය කියලා.

නැති බැරි ළමයෙකුට පාඩමක් කියල දෙන්න පුළුවන්. තමන් දන්න ශිල්පයක්, ශාස්ත්‍රයක් උගන්වන්න පුළුවන්. කාට හරි අවවාදයක්, උපදේශයක් අවශ්‍ය තැනකදි නොපැකිළිව දෙන්න පුළුවන්. දුස්සීල කෙනෙකුට සිල්වත් වන හැටි කියා දෙන්න පුළුවන්. සම්මා දිට්ඨිය නැති කෙනෙකුට සම්මා දිට්ඨිය ඇතිවන විදිහට ධර්මය කියා දෙන්න පුළුවන්. සසර කෙළවර කරන්න වීර්ය කරන කෙනෙකුට සතර සතිපට්ඨානය වඩන හැටි කියා දෙන්න පුළුවන්. මේකට කියනවා ධර්ම දානය කියලා.

නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද අවිහිංසා සංකල්පනා මුල් කරගෙන තමයි අපි දන් දෙන්න ඕනේ. අපි දෙන දේ ලබාගෙන ඔහු සුඛිත මුදිත වේවා කියන කරුණා මෛත්‍රී සිත පෙරදැරි කරගෙන තණ්හාව දුරුකර ගැනීම සඳහා දෙන දානය තමයි සැබෑ බෞද්ධ දානය වෙන්නේ.

නෙක්ඛම්ම චේතනාවෙන් දෙනකොට නිවන තමයි ඉලක්ක වෙන්නේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීමේ චේතනාවෙන්, කුසලය වැඩීමේ චේතනාවෙන්, සිතේ කෙළෙස් අඩුකර ගැනීමෙි චේතනාවෙන්, දෙන දානය මහත් ඵලයි, මහානිසංසයි.

බුදුහාමුදුරුවෝ දානයේ ආනිසංස මෙහෙම විස්තර කරනවා. මිනිසුන්ට ප්‍රියයි දන් දෙන කෙනා. එයාගේ යහපත් කීර්ති රාවය ඉබේම පැතිරෙනවා. ඕන සභාවකට එයා නිර්භීතව යනවා. සත් පුරුෂයන්ගේ ආශීර්වාදයට ලක්වෙනවා.

ආයෙත් නම් ගහන්ට ඕන නෑ. බෝඩ් ගහන්න ඕන වෙන්නේ නෑ. දැන්වීම් දාන්න ඕනෙත් නෑ. ශබ්ද විකාශන යන්ත්‍ර දාල රටට ප්‍රචාරය කරන්න ඕන වෙන්නේ නෑ. බෙර ගහන්න ඕන නෑ. නිස්කලංකව නිශ්ශබ්දව දෙන කොට කටින් කට යනවා. කවුරුත් දන්නවා.

සීලය කියන්නේ හික්මීම, සංවර බව


(මෙය අතිපූජනීය මහනුවර වජිරබුද්ධි යතිවරයාණන් වහන්සේ ගේ දේශනා ආශ්‍රයෙන් ලියූ කෙටි ලිපියකි.)

සීලය කියන්නේ හික්මීම, සංවර බව. මොනවායින්ද අපි හික්මෙන්න ඕනේ..., කයින් සහ වචනයෙන්, අපේ වචනය අසංවර වෙලා නියෙනවා හේතු හතරක් නිසා. බොරු කීම, කේලම් කීම, හිස් වචන සහ පරුෂ වචනයෙන්. මේවායින් වැළකුනා නම් අපේ වචනය සංවරයි. ඒකට කියනවා වාග් සුචරිතය කියලා.

ඊළඟට, අපි කය පාවිච්චි කරල වැරදි තුනක් කරනවා. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය. මේ තුනෙන් වැළකුනා නම් අපේ කය සංවරයි. ඒකට අපි කියනවා කායික සුචරිතය කියලා.

එතකොට මේක තමයි කායික සංවරය සහ වාචසික සංවරය. ඊට අමතරව, බෞද්ධයින්ට තවත් විශේෂ සීලයක් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සඳහන් වෙනවා. ජීවත්වීම සඳහා මිනිසුන් නොයෙක් කපටිකම් කරනවා. වැරදි විදියට ජීවිතය පවත්වා ගෙන යනවා. ඒකට කියනවා මිත්‍යා ආජීවය කියලා. අන්න ඒ මිත්‍යා ආජීවයෙන් වැළකීමත් කරන්න ඕනේ.

කයින් වන වැරදි වලිනුත් වැළකිලා, වචනයෙන් වන වැරදි වලිනුත් වැළකිලා, මිත්‍යා ආජීවයෙනුත් වැළකුනා නම් එය තමයි සැබෑ බෞද්ධ සීලය. එතකොට මේ සීලය අපි රකින්න ඕනේ නින්දෙන් අවදි වූ වෙලාවේ සිට යළි නින්දට යනතුරු කාලයත්, මරණයෙන් ජීවිතය අවසන් වන තුරුම, නිවන් දකින තුරුම.

" දුස්සීල ජීවිතයට වඩා සිල්වත් මරණය උතුම් "
" දුස්සීලව ජීවත්වෙන වසර සියයක ජීවිතයට වඩා එක දවසක් සිල්වත්ව ජීවත්වීම වටිනවා."

සිල්වත් වන කෙනාගෙ, කය වචන සංවර කරගත්ත කෙනාගෙ ආනිසංස ගැන බුදු හාමුදුරුවෝ බොහොම ලස්සනට කියනවා. මෙන්න මෙහෙම,

පළවෙනි ආනිසංසය තමයි සිල්වත් කෙනාගේ සම්පත් භෝග වැඩෙනවා, සම්පත් වර්ධනය වෙනවා, දියුණු වෙනවා.

දෙවෙනි ආනිසංසය තමයි සිල්වත් කෙනා කෙරෙහි රට පුරා යහපත් කීර්ති රාවයක් පැතිරෙනවා. ප්‍රසිද්ධියට පත් වෙනවා.

තුන්වෙනි ආනිසංසය තමයි සිල්වත් කෙනා ඕනෑම සභාවකට, රාජ සභාවට පවා නිර්භීතව යනවා, එයා භය නෑ, පව් කරන්නේ නෑ, කය වචන දෙක සංවරයි, හරි නිර්භීතයි, සිල්වත් කෙනා වටා මහා පවුරක් වගේ මහා ශක්තියක් ගොඩ නැගෙනවා.

හතරවෙනි ආනිසංසය තමයි සිල්වත් කෙනා සිහි මුළා නොවී, මරණයට පත් වෙනවා. සිහියෙන්ම මිය යනවා.

පස්වෙනි ආනිසංසය සුගතිගාමී වෙනවා